80 දශකයේ හටගත් වාර්ගික දේශපාලනයෙන් පසුව ගතවූ දශක තුනක පමණ කාලය විසින් අපට උගන්වන එක් සත්‍යයක් ඇත. පන්ති දේශපාලනය යටපත් වී වාර්ගික දේශපාලනය (සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස භේද වී දේශපාලනය කිරීම- මුස්ලිම් දේශපාලනය අශ්රෝෆ්ගෙන් පටන් ගත් අතර දෙමළ දේශපාලනය ප්‍රභාකරන් මඟින් තහවුරු විය. සිංහල දේශපාලනය මතවාදීව නලින් ද සිල්වා පටන් ගත් අතර එය චම්පික-රතන ජෝඩුව හරහා ගමන් කර ජවිපෙ මගින් සුජාත වී රාජපක්ෂලා මගින් සාර්ථක විය.) ඉස්මත්තට පැමිණි පසුව ලංකාවේ වාමාංශික දේශපාලනය (ධනවාදයට එරෙහි වීම හෝ එම ක්‍රමය විවේචනය කිරීම- එහි පුළුල්ම ප්‍රකාශය ප්‍රාග්ධනයට එරෙහි වීමයි. ලෙනින්වාදය මගින් ස්ථාපනය වූයේ, ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය යන්න යි.) සාර්වත්‍රිකයන් (සමානාත්මතාවය, නිදහස සහ සහෝදරත්වය) අතහැර සුවිශේෂයන් වෙනුවෙන් පෙනී සිටීම සමඟ අනන්‍ය විය. මේ වන විට, ලංකාවේ වම ලෙස පෙනී සිටින්නවුන් අති බහුතරයක් අනන්‍යතා සටනක නිරත වන්නන් පමණි.[Pure ontological] මෙය, පහළ මැද පන්තියේ උද්ඝෝෂණවාදී මාධ්‍ය දේශපාලනයකි.

                     අපට අද කතා කරන්නට ඉතුරු වී ඇත්තේ, වෙනත් කලාපයකි. මේ මොහොත වන විට, අපගේ සංවිධානය හැර අලුතින් දේශපාලනය කරන්නට එකතු වන අයට වෙන තැනක් නොමැත. මේ එකතු වන අයට, අප සමග අතීතයේ එකතු වූ අය සහ ඒ අය ඉවත්ව ගියේ ඇයි ද යන්න පිළිබඳව යම් න්‍යායික පර්යාවලෝකනයක් අවශ්‍ය යැයි අපි සිතන්නෙමු.

                       ලාංකීය දේශපාලනය තුළ එක් මනෝභාවයක් ඉතා ප්‍රකට ය. ඒ මනෝභාවයේ එක්තරා ප්‍රකට ලක්ෂණයක් මෙසේ සටහන් කිරීමට හැකි ය. ‘මම ධනපති විරෝධියෙක්’. ලංකාවේ අති බහුතරයක් මිනිසුන් ධනපති විරෝධීන් ය. ඔවුන්ට අවශ්‍ය ධනපති-ක්‍රමය පෙරළා දමන්නට ය. උදාහරණයක් වශයෙන්, ලංකාවේ දකුණේ මිනිසුන්ට අනුව ‘පොහොට්ටු පක්ෂය’ යනු, වාමාංශික පක්ෂයකි. ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් තුනේ තමන්ව ජන ජීවිතයේ දී ‘කොමියුනිස්ට්වාදියෙකු’ ලෙස හදුන්වන බහුතරයක් දෙනා පසුගිය ඡන්දයේ දී ඡන්දය දුන්නේ, පොහොට්ටුවට ය. ලංකාවේ සිංහල මිනිසුන් බහුතරයක් යටි සිතින් ‘ පොහොට්ටුව ’ වාමාංශික යැයි සිතන්නේ මන්ද? මාක්ස්-එංගල්ස් කතා කරන්නේ, මනෝරාජික සමාජවාදයක් නොව විද්‍යාත්මක සමාජවාදයකි. නමුත් ලංකාවේ සමාජවාදය යනු, මනෝරාජික ප්‍රපංචයකි. මෙම ගැටලුවේ මූලය අපි සොයමු.

                         මේ සඳහා උදාහරණයක් ලෙස, අපි අපගේ සංවිධානයේ ඉතිහාසය ම පරික්ෂා කරමු. අතලොස්සක් හැර බහුතරයක් දෙනා අපගේ සංවිධානයට එකතු වූයේ, ‘ධනපති විරෝධියෙක්’ (Anti-Capitalist) ලෙස ය. උත්ප්‍රාසය වන්නේ, මෙලෙස ‘ධනපති විරෝධීන්’ ලෙස සම්බන්ධ වන අය යම් මොහොතකට පසුව ඉන් පිට වන්නේ පවතින ‘සමාජ-ක්‍රමය’ ඉතා හොඳ යැයි සලකාගෙන ය.  මෙම විරුද්ධාභාසය (Paradox) වටහා ගන්නේ කෙසේද? එසේ නම්, වාමාංශික දේශපාලන සංවිධානයක් යනු, ඔබට බාහිරින් ආතතියක් ලබා දී කලින් ඔබට සුසංවාදී නොවූ තැනක් happy ස්ථානයක් බවට පත් කරවන විජ්ජාමය ස්ථානයක්ද?

                     ඉපදීමෙන් පසුව, ලංකාවේ අති බහුතර ජනයා ජාති, කුල, මල, පන්ති භේදයකින් තොරව තමා අවට ‘සමාජ සංස්ථාපිතයට’ විරෝධය පායි. තමන් හැදී වැඩුණු පවුලෙන් කෙනෙකු එළියට යන්නට උත්සාහ කරන්නේ, A/L විභාගයට පසුව ය.  බහුතර දෙනෙක් ධනපති විරෝධී වන්නේ, මේ මංසන්ධියේ දී ය. එතැන් පටන් විචලනය වන අගයක් සහිතව (වයස 25-39) කෙනෙකුට ස්ත්‍රී/ පුරුෂ  භේදයකින් තොරව ධනපති විරෝධී විය හැකි ය.  සමහරු තමන්ගේ මේ විරෝධාකල්පය ක්‍රම විරෝධයක් හෝ පවුල් විරෝධයක් ලෙසින් ද හඳුනා ගනියි. මේ අති බහුතරයට ‘ප්‍රාග්ධනය’ ගැන හෝ ‘ශ්‍රමයේ වටිනාකම් න්‍යාය’ ගැන කිසිදු අවබෝධයක් නැත. දැනට ලංකාවේ දේශපාලන පක්ෂ පිරී ඇත්තේ, මේ කුමන හෝ විරෝධීන්ගෙනි. (උදා:- පරිසර විරෝධය, මුස්ලිම් විරෝධය, ස්ත්‍රී විරෝධය……)

                        මාක්ස්වාදී දේශපාලනය යනු, මේ කුමන හෝ විරෝධයක් සමඟ සම්පාත වීම ද?  අවශ්‍ය නම්, මේ දේශපාලනය ‘ඩේවිඩ් කැමරන්ගේ මාක්ස්වාදය’ ලෙස හැඳින්වීමට හැකි ය.  කැමරන්ගේ මාක්ස්වාදයට අනුව අපට පෙනෙන්නේ, ‘Titanic’ චිත්‍රපටයේ ඉහළ මැද පාන්තික රෝස් නම් තරුණියකි. ඇය ඉතාම ව්‍යාකූලතාවයකින් යුතුව ජීවත් වන කෙනෙකි. ඇය සමීප ඥාතීන් සමඟ ගැටුම් වලට යන්නියකි. අහම්බයකින් නැවේ තට්ටුව මත දී ඇයට ජැක් නම් කම්කරු පන්තියේ සාමාජිකයෙක් හමු වෙයි. ඇය ඔහු සමඟ යහමින් පෙමෙන් වෙළෙයි. මේ සහ-සම්බන්ධය නිසා ඔවුන්ට ප්‍රේමය නම් සාරයක් මනසින් බාහිරව හමු වෙයි. එබැවින්, මෙම රෝස්-ජැක් ප්‍රේමය කාන්ට්ගේ සහසම්බන්ධතා වාදය සමතික්‍රමණය කරයි. නමුත් පසුව නැව අයිස් පරයක ගැටී ගිලී යන විට රෝස් විසින් ජැක්ව අත්ලාන්තික් සාගරයේ ගැඹුරට අතහැර දමයි. ඇය අපට පෙන්වන්නේ, ඇගේ ප්‍රේමයට සාරයක් නැති බව ය.[New Ontology] මින් අදහස් වන්නේ, ‘සැබෑ ජීවිතය’ යනුවෙන් මාක්ස් හඳුනා ගන්නා ජීවිතය මුලාවක් බවයි. හේගල්ට අනුව රෝස්ට ‘ජැක්’ යනු, තමන්ගේ ‘බාහිර බාධකය’ අභ්‍යන්තර අවුලක් බව වටහා ගන්නට උදව් කළ , ඊට මැදිහත් වී වියැකෙන්නෙක් පමණි.

                         ඒ අනුව 80 දශකයට පසුව වාමාංශික පක්ෂ යනු, එයට ඇතුල් වන අයට අනුව රෝස්ලාගේ දේශපාලනයට අනුව සකස් වී ඇති සංස්ථාපිතයන් ද? තදබල සිත් තැවුලකින් හෝ බියගුළු භාවයක ගිලී ගිය මිනිසුන් වාම දේශපාලනයට ටික කලකට ඇතුල් වී තමන්ගේ අභ්‍යන්තර ගැටලුව විසඳී ගිය විට සංවිධානයෙන් ඉවත් වෙති. ඔවුන් එය හඳුන්වන්නේ, වාම දේශපාලනයේ අභ්‍යන්තර ගැටලුවක් ලෙසිනි. දැන් අපි ගැටලුවේ මදය වෙතට ප්‍රවිෂ්ට වෙමු. පුද්ගලයෙකු තම සුහුඹුල් අවස්ථාවේ ධනපති විරෝධී හෝ හරක් මස් විරෝධී හෝ කුමන හෝ විරෝධීයෙක් වී ජීවිතයේ පරිණත අවධියේ දී ක්‍රමය විසින් අඹන ලද නැතහොත් ක්‍රමයට ආශා කරන්නෙකු වන්නේ මන්ද?

                          මා පළමුවෙන් ඔබට යෝජනා කරන්නේ, මිනිසුන්ගේ තදියම් ‘ධනපති විරෝධය’ කිසිසේත් ඔබේ ඇඟේ අලවාගත යුතු නැත යන්න යි. වසර 17 ක් ‘ධනපති විරෝධය’ නම් ස්ටිකරය ඇඟේ අලවාගත් විමල් වීරවංශ අද දවසේ අලවාගෙන ඇත්තේ, ඇමරිකන් විරෝධය, අධිරාජ්‍ය විරෝධය, UN විරෝධය වැනි ස්ටිකරයන් ය. මෙම ධනපති විරෝධයේ රූප විපර්යාසය සාමාන්‍ය ජහමනයාට එනවිට එය රණ විරුවන්ට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය වැනි ස්ටිකරයක් දක්වා මාරු වෙයි. මේ තත්වය අපගේ සංවිධාන මට්ටමට එන විට තවත් සංකීර්ණ වෙයි.

                   2000 දශකය මුල් කාර්තුවේ දී ‘නව සමසමාජ පක්ෂයේ’ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍යවරයෙක් අපගේ සංවිධානයට ඇතුළු විය. ඔහු කොයි පැත්තෙන් බැලුවත් ධනපති විරෝධියෙකි.  2004 අග දී සංවිධානයේ සිදු වූ බෙදීයාමට පසුවත් ඔහු සංවිධානය තුළ ඉතිරි විය. එවකට, පක්ෂයේ මූලස්ථානය භාරව සිටි ‘මහදැනමුත්තා’ නම් සහෝදරයා විසින් මේ වෛද්‍යවරයාට රජයේ සේවයෙන් ඉවත් වී අප සමඟ එක්වන ලෙසට ආරාධනා කළේ ය. මෙම නව සම්බන්ධ වීම නිසා මෙම වෛද්‍යවරයා පූර්ණකාලීන ධනපති විරෝධීයෙක් විය. ඉන්පසුව, මෙම වෛද්‍යවරයා අර්ධ කාලීනව තම ගම් ප්‍රදේශයේ ඩිස්පැන්සරියක් පවත්වාගෙන ගිය අතර සති අන්තයේ සංවිධානයේ අධ්‍යාපන පන්තිවලට සම්බන්ධ විය. ඔහු බුද්ධිමත් පුද්ගලයෙකි. ඔහු අප සමඟ එක්වද්දීම මාක්ස්-එංගල්ස්ගේ පාඨ ග්‍රන්ථ කියවා තිබූ අතර පසුව ඔහුට ලබා දුන් ජිජැක්ගේ ‘Parallax View’ ඇතුළුව පාඨ ග්‍රන්ථ කිහිපයක් විස්මිත ලෙස හොඳින් වටහා ගත්තේ ය. අපගේ ‘විනෝදය’ පොත සඳහා පරිච්ඡේද කිහිපයක් ද ලිව්වෙ ඔහු ය. 

                           කාලයක් ගතවන විට, ඔහු සංවිධානයේ න්‍යෂ්ටියේ මතු වූ ප්‍රධාන ප්‍රතිවිරෝධය හොඳින් වටහා ගත්තේ ය. ඔහු මට කීවේ මෙවැන්නකි. “ඔබ සහ මහදැනමුත්තා අතර පවතින සුභ-යස නාට්‍යය ඉවර කර ගන්න! ඊට පස්සේ බලමු දේශපාලනය කරන්න”. මෙය ඉතාම සිත්ගන්නා සුළු යෝජනාවකි. නමුත් මෙම යෝජනාව යටින් වැටී තිබුණු දෘෂ්ටිවාදය කුමක්ද? ඔහු අපගේ සංවිධානයට එකතු වූයේ, ‘ධනපති විරෝධය’ නිසාය. තත්වය මෙසේ නම්, ඔහුගේ මුඛ්‍ය ගැටලුව විය යුතුව තිබුණේ, නව සම සමාජයට සාපේක්ෂව අපගේ සංවිධානය සතු ඉදිරිගාමී ලක්ෂණ හඳුනා ගැනීම මිස සංවිධානයේ ද්විතියික ප්‍රතිවිරෝධයක් වූ ‘සුභ-යස’ නාට්‍යය ප්‍රාථමික ප්‍රතිවිරෝධයක් ලෙස හඳුනා ගැනීම නොවේ. සංවිධානයක ප්‍රධාන ප්‍රතිවිරෝධය පසෙකලා ද්වීතියික ප්‍රතිවිරෝධය සමඟ අනන්‍ය වීම යට ඇත්තේ, වෙනත් පැති මානයකි.  

        අපගේ ගැටලුව විග්‍රහ කිරීම ඉතාම දුෂ්කර ය.

        

                      2008 වර්ෂය වන විට, වෛද්‍යවරයා හොඳටම අනන්‍ය වන්නේ මෙම ‘සුභ-යස’ නාට්‍යයට ය. නැතහොත් ‘කවුද රජා’ චිත්‍රපටයට ය. මේ නාට්‍යය සහ සහ චිත්‍රපට ගැන තම පිළිකුල ප්‍රකාශ කරමින් 2009 වර්ෂය වන විට, වෛද්‍යවරයා තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වී පූර්ණ කාලීනව තම ඩිස්පැන්සරියට සහ පවුලට යොමු විය. මේ මොහොතේ දී, ඔහුගේ ආත්මමූලිකත්වයේ ද විශාල බිඳී යාමක් සිදු විය. ඔහුට මා සම්බන්ධයෙන් තිබුණේ, උභයාවේගයකි. ඔහු මගේ ශරීරය දුටුවේ, මධ්‍යම පන්තික එකක් වශයෙනි. මධ්‍යම පන්තිකයෙක් මාක්ස්වාදී සිවුරක් දමා ගෙන පාත්තරේකින් මුදල් එකතු කිරීම ඉතාම දුෂ්කර කටයුත්තකි. නමුත් ‘මහදැනමුත්තා’ මෙන් ජීවිතය ද්විගුණනය කොට එක ජීවිතයක් දෘෂ්‍යමානය ලෙසත් අනෙක් ජීවිතය තිරයට පසුපස රහස් ජීවිතය ලෙසත් සකස් කරගත් විට, ඊනියා මධ්‍යම පන්තිකයන් ඇතුළුව බහුතර දෙනෙක් එවැනි අයගේ පාත්තර ලොකු කුට්ටි වලින් පුරවා දමයි. අප ජීවත්වන යුගයේ, මෙම රැඩිකල් පරතරය අප සිතනවාට වඩා ආකර්ෂණීය එකකි. මිනිසාගේ ‘විද්‍යාව’ සම්බන්ධ ඇතුල් නුවණ (Insight) සහ සාමාන්‍ය මිනිසාගේ සාමාන්‍ය දැනීම අතර පරතරය සමකාලීන යුගයේ දී ඉතා පුළුල් ය. මේ හේතුව නිසාම එක පැත්තකින් විද්‍යාඥයාවත්, අනෙක් පැත්තෙන් මිත්‍යාදෘෂ්ටිකයාවත් එක සේ උත්කර්ෂණය වී ඇත. මේ මොහොතේ සාමාන්‍ය මිනිසාට, කොවිඩ් පැණිය සෑදූ ධම්මිකත්, ජර්මානු විද්‍යාඥයන් දෙදෙනා අතරත් වෙනසක් නැත. වාස්තවික ක්ෂේත්‍රයේ ගැටලු සමකාලීන යුගයේ දී සංස්කෘතික ගැටලු වලට පොළා පනින අතර යා කළ නොහැකි ‘ජීවන විලාසයන්’ අතර ගැටුම සුසංවාදී කිරීම හැර අන් දෙයක් ඉතුරු වී නැත. 

                          2012 වැනි යුගයක් උදා වන විට, වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරි ව්‍යාපෘතිය සාර්ථක එකක් වන විට ඔහුට ‘මහදැනමුත්තා’ සහ මා අතර වෙනස ද මැකී ගියේ ය. මෙවැන්නක් වන්නේ ඇයි? ඔබට මූලික ප්‍රවාදය මතකද? මේ වෛද්‍යවරයා තදබල ධනපති විරෝධියෙකි. ගැටලුව වන්නේ, මේ ධනපති විරෝධය ඔහුත් අපත් අවබෝධ කරගන්නේ කෙසේ ද යන්නයි. උදාහරණයක් ලෙස, පිරිමියෙක් තම හිසෙහි කෙස් යාම පළමු පියවරේ දී වටහා ගන්නේ, තම පිරිමිකම අඩු කරන සාධකයක් ලෙස ය. මේ නිසා, ඔහු මේ පියවරේදී උත්සාහ කරන්නේ, කෙස් හැලීම වළක්වා ගැනීමට ය. විවිධ ක්‍රීම් වර්ග, ජෙල් වර්ග, කොණ්ඩා මෝස්තර හරහා ඔහු උත්සාහ කරන්නේ, තමන්ගේ පිරිමිකම බේරා ගැනීමට ය. නමුත් කොණ්ඩය ගොස් තට්ටය පූර්ණ වශයෙන් පෑදී ගිය විට, ඔහු තම ‘තට්ටය’ පිරිමිකමේ ලක්ෂණයක් ලෙස සලකන්නට පටන් ගනියි. වෛද්‍යවරයාගේ ජීවිතයේ ‘ධනපති විරෝධය’ නම් සාධකයට යම් මොහොතකට පසුව සිදු වන්නේ කුමක්ද? මෙය දැනුමට සම්බන්ධ ගැටලුවක් නොවේ. බහුතර දෙනෙක් සිතන පරිදි වෛද්‍යවරයාද සිතුවේ ‘ධනපති විරෝධය’ යනු, තමන්ගෙන් පිට ලෝකයේ පවතින අරගලයක් බවයි. නමුත් ‘ධනවාදය’ යනු, අපගේ ආශාවට සම්බන්ධ ප්‍රපංචයක් මිස බාහිර වාස්තවික තත්වයේ ගුණයක් නොවේ. සරලව කිවහොත්, ධනවාදය ස්වාර්ඵකත් නැත; පරාර්ථකත් නැත. එහි පැවැත්ම ඕපපාතික ය. පුද්ගලයෙකු ධනවාදියෙකු වන්නේ, ඔහු/ ඇය හිතන විට නොව ක්‍රියා කරන විට ය යන ආප්තය අපගේ වෛද්‍යවරයා කිසිදා අවබෝධ කරගත්තේ නැත. කෙනෙකු ධනවාදී වන්නේ, අභ්‍යන්තර ආත්මීය මර උගුලකින් ගැලවීමට මිස බාහිර ලෝකයේ මර්දනීයත්වයෙන් ගැලවීමට නොවේ.

                        ඉහත අර්ථයෙන් ගත් විට, ‘ධනපති විරෝධය’ පිළිබඳ X සාධකය මතුපිට තලයකට පැමිණෙයි. පුද්ගලයෙකු තමා ධනපති විරෝධීයෙකු ලෙස තමාවම හදුනා ගන්නා විට දී ඉන් අදහස් වන්නේ කුමක් ද කියා බාහිර අයට පමණක් නොව හෙතෙමට පවා අඥාත ය [unknown]. ‘ධනපති විරෝධීයා’ යනුවෙන් පරිපූර්ණ අනන්‍යතාවයක් නොපවතියි. 

                        ‘ධනපති විරෝධය’ යන බාහිර ප්‍රකාශනය තුළ ම ඇති අප්‍රකාශිත අඩංගුව වන්නේ, තමන්ගේ ධනපති විරෝධයට අභ්‍යන්තරිකව බාධා කරන්නෙකු ආත්මයට අවශ්‍ය බවයි. වෛද්‍යවරයා සංවිධානයට ඇතුළු වී ටික කලක් ගත වන විට, තමන්ගේ ශුද්ධ ධනපති විරෝධයට අදාළව අභ්‍යන්තරයෙන් බාධා කරන ගැටලුවක් සංවිධානය තුළින් සොයා ගනියි. ඔහු ආවේ පරිපූර්ණ ධනපති විරෝධය නිසා ය. පසුව ඔහුට සංවිධානයෙන් එළියට යන්නට හේතුවක් ඇතුලෙන් නිර්මාණය වෙයි. ඒ මහදැනමුත්තා සහෝදරයා සහ මා අතර පැවති ‘සුභ-යස’ පසමිතුරු නාටකය යි. ඔහුගේ අලුත් අදහස මෙසේ ය. ‘බලන්න මම ආවේ ධනපති-ක්‍රමය පෙරළන්න, ඔය දෙන්නා මෙතන මරා ගන්නවා’. නමුත් මේ මරා ගැනිල්ල නම් වෙස්මුහුණ මගින් ආවරණය වන ඔහුගේ ආශාව කුමක්ද? යම් කිසි ගැටලුවකට අදාළ විසඳුම එම ගැටලුව තුළම ගිලී ඇත යන ආප්තය මෙතැන දී වැදගත් ය.

                         ‘ධනපති විරෝධය’ යනු කුමක්දැයි ඔහුවත් හරියට නොදනියි. පන්ති සටන ගැන හැර මාක්ස්වාදය කිසිවක් නොකියන අතර මාක්ස්වාදය කතා කරන්නේ, අරගලය තුළ අප සිටිය යුත්තේ අප තුළ රහසක්, විනෝදයක් හැටියට සැඟ වී ඇති ධනපති විරෝධය නිසා නොව ප්‍රායෝගික මානව දයාව නිසා ය. අප සටන අත් නොහැරිය යුත්තේ, ධනපති විරෝධය නම් අදහස නිසා හෝ ‘මහදැනමුත්තා-දීප්ති’ පසමිතුරුභාවය නිසා නොව අරගලය තුළ අප අත්විඳින පීඩිත පන්තීන්ගේ විඳවීම් නිසා ය. ‍ව්‍යාපාරයක් ලෙස ඩිස්පැන්සරිය දියුණු වන විට, වෛද්‍යවරයාට තමන්ගේම ස්ථාවරයට පැමිණ ඇත්තේ දීප්ති නොව මහදැනමුත්තා බව වැටහෙයි. මන්ද, තමන් මෙන්ම මහදැනමුත්තා ද ව්‍යාපාරිකයෙක් වී ඇති නිසා ය. එවිට, තමන් පැමිණි මුල් කාරණය (ඊනියා ධනපති විරෝධය) දෙදෙනාටම අමතක වෙයි.

                           ‘ධනපති විරෝධය’ නම් සටන් පාඨය සමග සංවිධානයට ඇතුල් වූ වෛද්‍යවරයා සංවිධානයේ අභ්‍යන්තර ගැටලුවක් පාදක කරගෙන ඉන් ඉවතට ගිය අතර පසුව තමන්ම අනන්‍ය වීමට නොහැකි යැයි සිතූ ධනවාදයට තදාත්මක විය. මෙම තත්වය පසුගිය දශක තුන තුළ බොහෝ වාමාංශිකයන්ට සිදු වූ අහඹු හදිසි අනතුරකි. මෙසේ සිදු වන්නේ මන්ද යන කාරණය පිළිබඳ න්‍යායික විග්‍රහයක් ද කිසිවෙකුට නැත.

                           අප රටෙහි දේශපාලන සංවිධාන තුළ ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ න්‍යායික ප්‍රවාද ගොඩ නැගීමක් නැත. බොහෝවිට, දෘෂ්ටිවාදය සහ මතවාදය යන පද දෙකෙන් ම අදහස් වන්නේ එක දෙයකි. මතවාදය යනු, ගම්ලත් මහාචාර්යවරයාට අනුව ‘සිතූ දෙය කීමයි’. නමුත් දෘෂ්ටිවාදය යනුවෙන් අදහස් වන්නේ, බාහිර ලෝකයේ ඇති දෙය හෝ බාහිර සමාජ සම්බන්ධයෙහි අඩංගුව දැක ඒ නිසා ඇති සංජානනය ප්‍රකාශ කිරීමයි. ගම්ලත්ට අනුව, බාහිර ලෝකය සහ විෂම සමාජ සබඳතා නිරීක්ෂණය කිරීමෙන් හට ගන්නා අදහස් යළි ප්‍රකාශ කිරීම දෘෂ්ටිවාදය යි. නමුත් දෘෂ්ටිවාදය යනු, හුදු අදහස් මාලාවක් පමණ ද? ගම්ලත් යථාර්ථවාදියෙකු වූයේ මේ නිසා ය. ඔහුට අනුව අපගේ වෛද්‍යවරයාව පරීක්ෂා කළහොත් සංවිධානය ගැන වෛද්‍යවරයාට යථාර්ථවාදී දෘෂ්ටියක් ඇත. ඔහුට අනුව යථාර්ථයේ ඇතුල්පැත්ත ඔහුගේ ධනපති විරෝධය යි. එහි පිට පැත්ත මහදැනමුත්තා සහ මා අතර විසඳිය නොහැකි පසමිතුරුභාවය යි. යථාර්ථවාදියෙකුට අනුව වෛද්‍යවරයා එළියට යන්නේ ඉහත දෙකට පැලුණු යථාර්තය නිසා ය. (බාහිර ලෝකය/ පුද්ගල විඥාණය) ගම්ලත්ගේ දෘෂ්ටිවාදය ඒ අනුව ද්වෛතයකි. ඔහුට අනුව යථාර්ථය සහ මනස ‘මනස’ නම් අභ්‍යන්තර ලෝකය තුළ දෙකට පැලී ඇත.

                          ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ ලුවී අල්තූෂර් නම් ප්‍රංශ මාක්ස්වාදියා වෙතට හැරෙන්නේ නම් ඔහු කියන්නේ, අපගේ අභ්‍යන්තර සත්තාව (මම/ බාහිර ලෝකය) පමණක් නොව අපගේ බාහිර සත්තාව ද (Being) දෙකට පැලෙන බවයි. එය අනන්‍යතාවය සහ බාහිර දෘෂ්ටිවාදී උපකරණ (රාජ්‍ය මතවාදී උපකරණ- විශ්වවිද්‍යාල, ආගම, පක්ෂය, ලිංගිකත්වය) වශයෙන් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක්  ගොඩ නඟයි.

                          අප පළමුවෙන්ම වටහාගත යුත්තේ, මාක්ස් ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ න්‍යායක් සංවර්ධනය නොකළ බවයි. ලංකාවේ උද්ඝෝෂණවාදී වම තුළ දෘෂ්ටිවාදය පිළිබඳ සංකීර්ණ න්‍යායක් නැති වීම ගැන අප පුදුම නොවිය යුතු ය. පුද්ගලයන් සම්බන්ධ කොට දෘෂ්ටිවාදී න්‍යායක් පළමුවෙන් ගොඩනැඟුවේ, ලූවී අල්තූෂර් නම් දාර්ශනිකයා ය. ඔහුගේ දෘෂ්ටිවාදය පිළිබඳ න්‍යායට අනුව මිනිසුන් දෘෂ්ටිවාදයට අනුකූල වන්නේ, අකමැත්තෙන් නොව කැමැත්තෙනි. එය සිදු වන්නේ, වැරදි විඥාණයක් (ව්‍යාජ විඥාණයක්) අපට තිබෙන නිසා ද නොවේ. අල්තූෂර්ට අනුව දෘෂ්ටිවාදය හුදු පන්ති ආධිපත්‍යයක් නොවේ. දෘෂ්ටිවාදයට පන්ති මූලයන් ඉක්මවා යන කතන්දරයක් ඇත. අපි දැන් ඒ කතාව කියවමු.

                          අපගේ වෛද්‍යවරයාට බාහිරින් එන ‘ධනපති විරෝධය’ නම් වාමාංශික කටහඬක් නිසා (වාසු හෝ බාහු) හැරී බැලීමට පුළුවනි. අල්තූෂර්ට අනුව දෘෂ්ටිවාදී ඇමතුමකට මිනිසෙකු හැරී බැලවීමට හැකි ය. ඔහුට අනුව එය දෘෂ්ටිවාදී ඇමතුමේ සාර්ථකත්වය යි. මෙම ඇමතුමට ප්‍රතිචාර දක්වන කෙනාට වාසු-බාහුගේ පන්තියේ හෝ සංස්කෘතිය අදාළ නැත. මේ අර්ථයෙන් ගත් විට, සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු දෘෂ්ටිවාදී ඇමතුම නිසා ‘ආත්මයක්’ (Subject) බවට පොළා පනියි.

                       නමුත් දෘෂ්ටිවාදී පොළා පැනීම පිළිබඳ අල්තූෂර්ගේ න්‍යාය ස්ලෝවේනියානු ගුරුකුලය විසින් උඩු යටිකුරු කරයි. (හාස්‍යයට මෙන් මේ අලුත් න්‍යාය ‘විනෝදය’ නම් කෘතියේ ඇති අතර අපගේ වෛද්‍යවරයා ද එහි සංස්කාරකවරයෙකි.) අල්තූෂර් සිතන පරිදි, දෘෂ්ටිවාදය (උදා:- සිංහලකම, මාක්ස්වාදය, සමලිංගිකත්වය) මඟින් සංයුක්ත පුද්ගලයන් ‘හිස් ආත්මයක්’ බවට පත් කරන්නේ නැත. ඒ අනුව ධනපති විරෝධීයෙක් යනු, ධනවාදය රහිත විඥාණයක් සහිත හිස් මිනිසෙක් නොවේ. ඒ වෙනුවට, දෘෂ්ටිවාදය විසින් ‘හිස් ආත්මයන්’ සංකේත අනන්‍යතාවයන් (Symbolic Identities) බවට පරිවර්තනය කරනු ලැබේ. දැඩි කුල පීඩිතයෙකු වූ නිසා විමල් වීරවංශ යනු, ධනේෂ්වර-සිංහල-ගොවිගම සමාජය තුළ අනන්‍යතාවයක් නැති හිස් පුද්ගලයෙකි (Empty Person). මේ හිස් පුද්ගලයාව ‘ජනතා විමුක්ති පෙරමුණ’ නම් දේශපාලන මතවාදී උපකරණය විසින් ‘සිංහල ජාතියේ ආරක්ෂකයා’ නම් අනන්‍යතාවයකට පොළා පන්වයි.

              අපගේ වෛද්‍යවරයාට එන විට, දෘෂ්ටිවාදී පොළා පැනීම පිළිබඳ සාධකය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

                           ඔහු විමල් වීරවංශගේ ‘සමාජ තත්වයට’ වෙනස් ව වෛද්‍යවරයෙක් නිසා ඔහුට තම ‘සමාජ අනන්‍යතාවය’ ක්ෂතියක් නොවේ. උසස් සමාජ තත්වයක් තිබෙන ඔහු ධනපති විරෝධියෙක් බවට පොළා පනින්නේ මන්ද? වටහා ගැනීමට ඉතාම දුෂ්කර තත්වය වන්නේ, ඔහු ‘ධනපති විරෝධීයෙක්’ වන්නේ බාහිර සංකේත අනන්‍යතාවයක් අවශ්‍ය නිසා නොවේ. ධනවාදයට සහ දෘෂ්ටිවාදයට තමාවම ප්‍රතිනිෂ්පාදනය කර ගැනීමට යම් හිස්තැනක් අවශ්‍ය ය. මේ ‘හිස්තැන’ රැඩිකල් නිශේධනයකි.

                          වෛද්‍යවරයෙකු යනු, අධිපති සමාජ අනන්‍යතාවයක් වූවත් ආත්මයක් ලෙස ගත් විට ඔහු ද හිස් ය. එසේ නම්, වෛද්‍යවරයෙකු ධනපති විරෝධීයෙක් වන්නේ කුමකට ද? ධනවාදය මෙන්ම පවුල (Family) නම් සංස්ථාව ද තම ප්‍රතිනිෂ්පාදනය සඳහා පවුල් ආකෘති දෙකක් ගොඩනගයි. එකක් තම මුල් පවුලයි. උපදින්නේ සහ හැදී වැඩෙන්නේ එම පවුල තුළ ය. අවශ්‍ය නම්, එය පියාගේ පවුල ලෙසින් ද හැඳින්වීමට හැකි ය. මේ තුළ උපදින දරුවෙකු යම් මොහොතකට පසුව මෙම පීතෘ පවුලෙන් ඉවත් වී තමාගේම පවුලක් නිර්මාණය කිරීමට නෛෂ්ක්‍රමණය කරයි. මේ පවුල් දෙක අතර පරතරයක් (Gap) ඇත. ධනේශ්වර-ක්‍රමයට ද තමාව ප්‍රතිනිෂ්පාදනය කර ගැනීමට දුර්වල නිලයක් අවශ්‍ය ය. එහි දී සිදු වන්නේ, ධනේශ්වර ක්‍රමය විසින් එයම ස්වයං-නිශේධනය කිරීමයි. ධනේශ්වර ක්‍රමය විප්ලවවාදී වන්නේ, අන් කිසිවකුගේ උදව් නැතිව එය විසින් එහි ආකෘතිය විඛාදනය කිරීමෙනි. 

                        සාර්ථක දෘෂ්ටිවාදී පොළා පැන්වීමක් විසින් ආත්මීය ක්ෂතියක් පරයා යමින් සංකේත අනන්‍යතාවය නම් ස්ථාවරත්වය බිහි කරයි. නමුත් මෙම ක්‍රියාවලිය තුළ ධනවාදය තම දුර්වලතාවයක් ද අපට පෙන්නුම් කරයි. සෑම දෘෂ්ටිවාදී පොළා පැන්නවීමක් ම ධනවාදයේ ජයග්‍රහණයක් මෙන්ම ඒ විටම පරාජයක් ද සනිටුවහන් කරයි. විමල් වීරවංශ සිංහල සමාජය තුළ කුල පීඩිතයෙකු සහ පීඩිතයෙකු ලෙස අධිපති දෘෂ්ටිවාදයෙන් පරාරෝපණය වන පරිදි ම වෛද්‍යවරයා තම පවුල තුළ එය තමන්ගේ පවුලක් නොවීම මත පරාරෝපණය වෙයි. දෙවනි උදාහරණය තුළදී අපට පෙනෙන්නට තිබෙන්නේ, ‘වෛද්‍යවරයා’ යනු ද දෙන ලද විකල්පයක් බවයි. එයට එරෙහි වීම සැබැවින්ම විකල්පයකි.

                             වෛද්‍යවරයෙක් ‘ධනපති විරෝධී’ වීම පවතින අධිපති සමාජ රටාව තුළ රැඩිකල් ප්‍රතික්ෂේප කිරීමකි. ‘මහදැනමුත්තා’ තමන්ගේ ධනපති විරෝධය වෛද්‍යවරයාගේ ධනපති විරෝධයට වඩා විප්ලවවාදී යැයි සිතා කටයුතු කිරීම පුස් වැඩකි. වෛද්‍යවරයාගේ ධනපති විරෝධය වීරවංශගේ ධනපති විරෝධයට වඩා සංකේතීය සියදිවි නසා ගැනීමකි. දැන් ගැටලුව වන්නේ, දෙන ලද ඛණ්ඩාංක තුළ සැබෑ තෝරා ගැනීමක් කළ වෛද්‍යවරයා සංවිධානයෙන් එළියට ගියේ කවුරුන් හැටියට ද යන්න ය. ඔහු සංවිධානයට ආවේ වෛද්‍යවරයෙක් ලෙස වුවත් ඉන් පිටවූයේ ව්‍යාපාරිකයෙකු ලෙසිනි. ඔහුව ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය කළේ, මහදැනමුත්තාගේ ඊනියා වාමාංශික සංවාද භාෂාවයි.

                        පැට්‍රිෂියා හයිස්මිත්ගෙ ‘The Button’ නම් කෙටි කතාවේ අවසානය මෙතැනට ගැළපෙයි. නිව්යෝර්ක් නගරයේ එක්තරා පියෙකු අවසානයක් නැතිව මන්දබුද්ධික දරුවෙකු බලා ගැනීමේ ඉරණමට ගොදුරු වී ඇත. ඔහුට දවස පුරාම සිදු වන්නේ කටින් කෙළ පෙරමින්, තේරුමක් නැති වචන එළියට දමන දරුවා රැකබලා ගැනීමට ය. එක්තරා රාත්‍රියක දරුවා නිදි කර මෙම පියා දැඩි වෙහෙසකර ස්වභාවයෙන් ගැලවෙන්නට නිව්යෝර්ක් නගරයේ වීදිවල ඉබාගාතේ ඇවිදියි. වීදි කොනක නිදාගෙන සිටින හිඟන්නෙකු අසළට යන ඔහු හිඟන්නා සමග පොර බදා ඔහුට පහර දී මරා දමයි. ඒ අවස්ථාවේ දී, හිඟන්නාගේ හිම කබායේ බොත්තමක් ඔහුගේ අතෙහි රැඳෙන අතර ඔහු එය ‘මතක වස්තුවක්’ (අර්චන වස්තුවක්- Fetish) ලෙස නිවසට ගෙන යයි. ඉන්පසුව, ඔහුට කිසිදා තම මන්දබුද්ධික දරුවා බලා කියා ගන්නා විට දී විඩාවක් දැනුණේ නැත. බොත්තම ඇත්තේ ඔහුගේ සාක්කුව තුළ ය. අපගේ වෛද්‍යවරයාට ‘මහදැනමුත්තා-දීප්ති’ නම් ‘මතක වස්තුව’ ඇති නිසා ව්‍යාපාරිකයෙකු වීමේ තෙහෙට්ටුවක් නැත. ඔහු ආවේ වෛද්‍යවරයෙක් ලෙසිනි. නමුත් ගියේ ව්‍යාපාරිකයෙකු ලෙස ය. කිසිදා ඔහු X සංවිධානයේ සාමාජිකයෙකු වූයේ නැත.

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...