සාමාන්‍ය මහජනයා දැන සිටි රටේ ‘සමාජ-ක්‍රමය’ බිඳ වැටෙන්නට පටන් ගෙන දැන් දශක 4ක් පමණ ගත වී ඇත. නිදහසින් පසුව ලංකාවේ දේශපාලනයට ආදේශ වූයේ, තට්ටු මාරු ක්‍රමය සහ සුභසාධන රාජ්‍ය ව්‍යුහය යි. මෙය දෙවන ලෝක යුද්ධයට පසුව බිහි වූ සීතල යුද්ධ එකඟතාවය නැතහොත් කේන්සියානු ආර්ථික ක්‍රමය ලෙසින් ද හැඳින්විය හැකි ය. නමුත් රටේ ජනගහණය සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සුභසාධනය නිසා දෙගුණ තෙගුණ විය. අතිවිශාල ජනගහණයකට කන්නට, බොන්නට දීම සහ වාසස්ථාන නිර්මාණය කිරීම පහසු නැත. 35-75 යුගයේ දී සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සටන් පාඨය වූයේ, “සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්”  යන්න ය. නමුත් බහුතරය සාදුකින් පෙලුනේ නැත්තේ රාජ්‍ය සුභසාධනය හරහා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපිරුණු නිසා ය. මේ නිසා, වාමාංශික පක්ෂ නායකයන් යථාර්ථය යැයි වටහා ගත් ‘දෙයත්’ සැබෑ යථාර්ථයත් අතර වෙනසක් බිහි විය. ඔවුන්ට මෙම සන්දර්භය තුළ මාක්ස්වාදය දෘෂ්ටිවාදයේ මායාවක් බවට පත් විය. මාක්ස්වාදය සංස්කෘතික ආක්‍රමණයක් ලෙසින් දකින්නට පටන් ගත්තේ මේ මොහොතට පසුව ය.

                     70 දශකය මැද වන විට, ඉහත සුභසාධන පර්යාය බිඳ වැටෙන්නට පටන් ගත් අතර ‘තැචර්’ වැනි නව පර්යායක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේය. 75 වන විට, යථාර්ථයේ සිදුවන මේ වෙනස J.R ට අවබෝධ විය. ඒ මොහොත වන විට, මිලියනයකට වැඩි පිරිසකට රැකියා තිබුණේ නැත.

                    ලංකාවේ ‘වාමාංශයට’ යථාර්ථය සහ ඒ ගැන ගොඩනඟන ප්‍රබන්ධ එනම්, ‘දෘෂ්ටිවාදය’ අතර වෙනසක් නො වීය. පැරණි වමට මෙන්ම ජවිපෙ ඇතුළු පසුකාලීන වමට ද ‘දෘෂ්ටිවාදය’- ideology- පිළිබඳ න්‍යායගත කිරීමක් නො වීය. අදටත් එය එසේම ය. ව්‍යාජ ලෙස දෘෂ්ටිවාදය ගැන විවිධ න්‍යායන් ඇදබාන මුත් සමකාලීන ඊනියා වමට ද ‘දෘෂ්ටිවාදය’ ක්‍රියාත්මක වන ආකාරය ගැන වැටහීමක් නැත.

                    වසර 40 ක පමණ සිට ලංකාවේ සිදු වන්නේ, පරණ පර්යාය බිඳ වැටෙමින් අලුත් පර්යායක් ඊට ආදේශ වීමයි. මේ ආදේශනය ලංකාවේ දේශපාලකයන්ට සහ පක්ෂවලට තවමත් අවබෝධ වී නැත. මේ ක්‍රියාවලියට මෙතරම් කල් ගත වන්නේ, ඊට අභ්‍යන්තරයෙන් එන ප්‍රතිවිරෝධතා සංකීර්ණ නිසා ය.

                     මේ පිළිබඳව ලෙනින් විසින් ටෝල්ස්ටෝයි අරබයා ඉතාම සිත්ගන්නා සුළු විචාරයක් ලියා ඇත. එය මෙසේ ය.

          “ ‘අද රුසියාවේ සියල්ල කණපිට පෙරළී ඇති අතර ඒ සියල්ල යළි ගොඩ ගැසෙන්නට පටන් ගත්තා පමණි’ යන කියමන තරම් උචිත යෙදුමක් ඇතැයි සිතිය නොහැකි තරම් ය. ‘කණපිට පෙරළුණේ කිමෙක් දැයි’ කවුරුත් හොදින් දනිති. ඒ නම්, ‘පැරණි ක්‍රමය’ යි. එහෙත්, ‘අලුත හැඩ ගැසෙන්නේ කිමෙන් ද?’ යැයි කිසිවෙක් නො දනිති. පළල් බහුජන කොටස්වලට එය නුහුරු ය; නොවැටහෙන සුළුය. අලුත හැඩ ගැසී ගෙන එන මේ සමාජ ක්‍රමය ටෝල්ස්ටෝයි දුටුවේ බටහිර සමාජයේ අවතාරයක් ලෙසිනි. මේ බටහිර සමාජයේ අංග ලක්ෂණ; එනම් බටහිර ප්‍රාග්ධනයත් අතර ඇති දයලෙක්තික සම්බන්ධය, මුදල සහ හුවමාරු වටිනාකම් මිනිස් වටිනාකම් වලට එරෙහිව ආදේශ වීම ටොල්ස්ටෝයි ප්‍රතික්ෂේප කරයි. නමුත් අලුතින් හැඩ ගැසී ගෙන මේ එන්නේ අන් කිසිවක් නොව ‘ප්‍රාග්ධනයේ’ ආධිපත්‍යය බව සිංහල ජාතිකවාදය, සිංහල වම සේම ටෝල්ස්ටෝයි ද ප්‍රතික්ෂේප කරයි. ඊට වෙනත් නම් ආදේශ කරයි. ඊට ඇස් වසා ගනියි. ඒ ගැන සිතීම බැහැර කරයි”.

 

                    මා හිතන්නේ, ලෙනින්ගේ ඉහත විග්‍රහය ලංකාවේ සමකාලීන තත්වයට කදිමට ගැළපෙන බවයි. ‘හොඳ දේ’ වෙනුවට වසර 40 ක් තිස්සේ ‘නරක’ දිනන්නේ ඇයි දැයි කිසිවෙකු පරික්ෂා කරන්නේ නැත. 94 වර්ෂයේ දී චන්ද්‍රිකා දිනූ විට සනත් ගුණතිලක නම් ‘රැඩිකල් මනෝ මූලිකයා’ සියල්ල විනාශ කළේ කොහොම ද යන්න ගැන කිසිවෙකුට අදහසක් නැත. නූතන රාජ්‍ය ව්‍යූහය චලනය වන්නේ, බාහිර සමාජයේ වාස්තවික බලවේග වලින් නොව පුද්ගලයන්ගේ ආත්මමූලිකත්ව බල රටා මඟින් බව කිසිවෙකු වටහාගෙන නැත. මහින්ද රාජපක්ෂ 2015 වර්ෂයේ දී ඡන්දය තිබ්බේ ඔහු වෙනුවෙන් නොව කවදා හෝ දිනක නාමල් රාජපක්ෂව ජනාධිපති කරවන්නට ය. මෙලෙස තමන් විසින් තමන්වම විනාශ කර ගන්නේ ඇයි ද යන්න ගැන ජෝතිෂ්‍යයට හැර වෙනත් කියවීමක් අපට නැත. දැන් නැවතත් මහින්ද උත්සාහ කරන්නේ, තමන්ගේ අනුප්‍රාප්තිකයා රජ කරවීමක් ගැන මිස රට ගැන නොවේ. නමුත් මහින්දගේ ෆැන්ටසිය ගැන රටවැසියාට වැඩක් නැත.

                  දෘෂ්ටිවාදයට අදාළ ක්ෂේත්‍රයේ දී සිදු වී ඇති ඛණ්ඩනය ගැන ද බොහෝ දෙනා උනන්දුවක් නැත. පවතින ක්‍රමය දැන් ප්‍රතිනිෂ්පාදනය වන්නේ අදහස්, උදහස් වලින් නොව ඇබ්බැහිකම්, හුරු-පුරුදු, චාරිත්‍ර-වාරිත්‍ර ආදී ක්‍රියාවන්ට අදාළ ක්ෂේත්‍රයෙනි. අපි Lux සබන් වලට ඇබ්බැහි වී සිටිනවා මිස සුන්දරත්වය පිළිබඳ අදහස් නිසා අප එම සබන් කැටය මිලට ගන්නවා නොවේ. මෙය දේශපාලන ක්ෂේත්‍රයට ද අදාළ ය. සමකාලීන දේශපාලකයන් දේශපාලනය කරන්නේ, අදහස් මත පදනම් වී නොව පුරුද්දට ය. ගස් නැගීමට පුරුදු වූ කෙනා ගස් නැගීම වේගයෙන් කරනවා මෙන් පාර්ලිමේන්තුවට පුරුදු තැනැත්තා පුරුද්දට පාර්ලිමේන්තු යයි. එය දේශපාලනය නොව දවස ගෙවීමට ඇති ඇබ්බැහියකි. දෘෂ්ටිවාදය ඇත්තේ, අප හිතන තැන නොව ක්‍රියාකරන තැන ය. 

                   90 දශකයේ මැද බිහි වූ අපගේ ‘X ව්‍යාපාරය’; ඊට බාහිර යම් න්‍යායික ශික්ෂණයක් ඇති අය නාමකරණය කළේ ‘නව සමාජ ව්‍යාපාරයක්’ (New Social Movement) ලෙසිනි. ‘නව සමාජ ව්‍යාපාර’ යනු කුමක්ද? මෙමගින්, අර්ථ දෙකක් ජනනය වෙයි. එක පැත්තකින්, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකට වඩා වැඩිමනන් (More) දෙයක් ‘නව සමාජ ව්‍යාපාර’ තුළ ඇත. අනෙක් පැත්තෙන්, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කරන බොහෝ දේවල් ‘නව සමාජ ව්‍යාපාර’ කරන්නේ නැත.  ‘නව සමාජ ව්‍යාපාර’ වලට දෛනික ජීවිතයේ විවිධ අරගල වලට සහභාගි වීමට අවශ්‍ය නැත. ‘බලය’ පිළිබඳ ගැටලුව ඔවුන් නොසලකා හැර ඇත. නමුත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා රැඩිකල් වැඩසටහනක් ඔවුහු ඉදිරිපත් කරති.

                   ‘නව සමාජ ව්‍යාපාර’ ජීවිතයේ සුසමාදර්ශී විතැන් වීමක් අපේක්ෂා කරයි. උදාහරණයක් ලෙස, ඔවුහු ස්ත්‍රීන්ට සමාජ බලයක් හිමි විය යුතු යැයි අපේක්ෂා කරයි. එමගින්, විෂමලිංගික පවුලේ බල සබඳතාවල සුසමාදර්ශී විතැන් වීමක් බලාපොරොත්තු වෙයි. එමඟින්, ඔවුන් පවුල තුළ මෙතෙක් නිදන්ගතව පැවති ජීවන ආකල්පයක් වෙනස් වනු ඇතැයි විශ්වාස කරයි. මේ හේතුව නිසා නව සමාජ ව්‍යාපාර ‘ආකෘතික ප්‍රජාතන්ත්‍රවාදයේ’ පදනම ප්‍රශ්න ප්‍රශ්න කරයි. ඒ තුළ ප්‍රශ්න නොකර මණ්ඩි බැස තිබූ ආකල්ප රැඩිකල් ලෙස ප්‍රශ්න කරයි. ගෙදර වැඩ පිළිබඳ ශ්‍රම විභජනය ප්‍රශ්න කරයි. පිරිමින් සාලයෙන් කුස්සියට ගමන් කරන රැඩිකල් වෙනසක් පවුල තුළ බලාපොරොත්තු වෙයි. එක අතකින් ගත් විට, නව සමාජ ව්‍යාපාර යනු පුද්ගලික ජීවිතය සහ සමාජ ලෝකය අතර අතිපිහිත වීමකි.

                       බැලූ බැල්මට, X දේශපාලනය ‘නව සමාජ ව්‍යාපාර’ වලට සාම්‍යය. බටහිර සංගීතය ඇසීම, ස්ත්‍රීන්ගේ පුද්ගලික ආශාවන්ට ඉඩ දීම, න්‍යාය ගැන ඇති අධික උනන්දුව, සමලිංගික අයිතිය පිළිගැනීම, ලිංගික දේශපාලනය න්‍යායගත කිරීම, සංස්කෘතිය දේශපාලනීකරණය, ජනප්‍රිය සංස්කෘතියේ බල රටා අධ්‍යයනය කිරීම, උද්ඝෝෂණ ප්‍රතික්ෂේප කිරීම, ධනවාදය දාර්ශනිකකරණය කිරීම යනා දී බොහෝ සංඝටක ඒ තුළ විය.

                         නමුත් X හී විරුද්ධවාදීන් (මේ අතර J.R ගේ පැරඩයිමයෙන් ගොඩ ඒමට නොහැකි වූ විශාල වාමාංශිකයන් ප්‍රමාණයක් සහ සිවිල් සමාජයේ වැඩි පිරිසක් ද ඇතුළත්ව) මතු කරන සාධාරණ හේතු ගණනාවක් නිසා ‘X දේශපාලනය’ නව සමාජ ව්‍යාපාරයකින් වෙනස් ය.

X දේශපාලනය තුළ මනෝවිශ්ලේෂණය අධිනිශ්චය වෙයි. මනෝවිශ්ලේෂණය යනු, පීතෘ ආධිපත්‍යයේ හෙවනැල්ලකි. එමඟින්, ස්ත්‍රීන්ගේ ‘ආත්මමූලිකත්වය’ පීඩාකාරී ව්‍යුහයන්ට (උදා:- හිස්ටීරියාව) ගැට ගසයි. අනෙක් අතට, X තුළ පැහැදිලි ධනපති විරෝධී දේශපාලනයක් නැත. ඕනෑම අයෙක් සමඟ/ සංවිධානයක් සමඟ අවස්ථාවාදී ව බද්ධ වෙයි. ‘මිනිසුන් කවුද?’ යන්න පිළිබඳ නිවැරදි නිර්ණායකයක් නැති නිසා පුද්ගලයන්ව නිවැරදිව තෝරා ගත නො හැකි ය. පුද්ගලයෝ සංවිධානය අන්ඳවා තම පුද්ගලික කාර්යයන් කරගෙන ඉන් පිටව යයි. මෙකි නොකී බොහෝ සාධක සංඛ්‍යාවක් පෙන්වමින් X විරුද්ධවාදීන් කියන්නේ X යනු, පුස්සක් බවයි.

                     සැතපුම් දහස් ගණනක් ඈත සිටින ඩිල්ෂාන් සහෝදරයා X දේශපාලනය මොනවද දශක දෙකක් කළේ යන්න සංක්ෂිප්ත කරනු ලැබුවේ මෙසේ ය.

                        “ධනවාදය ඉක්මවා යන චින්තන ව්‍යාපාරයක් ඒ සඳහා ආර්ථික තලයේ පෙරළියක් විතරක් කරලා වැඩක් නැහැ. ඒ වෙනුවෙන්, පාරභෞතික තලයේ විශාල පෙරළියක් කළ යුතු බව අපට පැහැදිලි කළේ X දේශපාලනය යි. මේ වෙනකොට, සින්දුවල ඉඳලා ඩේවිඩ් ලින්ච් හරහා පැල් කවි දක්වා X දේශපාලනය විශ්ලේෂණ ඉදිරිපත් කරලා තියෙනවා. උපරි- ව්‍යුහය තලයේ තව කරන්න දෙයක් X එකට ඉතිරිවෙලා නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ, අධෝ-ව්‍යුහය සඳහා ඉහත අදහස් ගලපන එකයි. ‘වී වෙනුවට රෝස’ කිව්වම බඩ අල්ලගෙන හිනා වුණ අය අද තක්බීර් වෙලා තියෙන්නේ”

                    අප සිතන්නේ, ඩිල්ෂාන්ගේ ඉහත අදහස අප ව්‍යාපාරයේ ශ්‍රමය පිළිබඳ වටිනා සංක්ෂිප්තයක් බවයි. ඔහුගේ එම අදහස මගින් අප ‘නව සමාජ ව්‍යාපාරයක්’ යන න්‍යායිගතකරණය විසංයෝජනය වන අතර ධනවාදයට එරෙහි ‘දික්ගැස්සුණු මතවාදී අරගලය’ යනුවෙන් ආදේශ වෙයි. වියට්නාම් විමුක්ති අරගලයේ දී පක්ෂය තුළ ගැටුණේ මත දෙකකි. එකක්, ජනරාල් ගියැප් යෝජනා කළ ‘දික්ගැස්සුණු ගරිල්ලා යුද්ධය’ යි. අනෙක, ලේ ඩුවාන්ගේ ‘තීරණාත්මක මැදිහත් වීම’ යන න්‍යාය යි. 68 දී Tate ප්‍රහාර එල්ල වූයේ, පක්ෂය තුළ මෙයින් ලේ ඩුවාන්ගේ මතයට අනුවයි. එය බාහිර ලෝකය දැන සිටියේ නැත. නමුත් Tate ප්‍රහාර සතුරාගේ සටන් බලය සහමුලින්ම විනාශ කරලී ය. අපේ පැත්තෙන්, අපි ‘උපරි-ව්‍යුහයේ’ අරගලය දශක දෙකක් ආරක්ෂා කළෙමු. පක්ෂයේ ඊළඟ අදියර වන්නේ, රැඩිකල් සහ නවමු ආකාරයකට අධෝ-ව්‍යුහයට ඇතුල් වීමයි. වමේ අවසාන සුන්බුන් මේ මැදිහත් වීම සමඟ අවසන් වනු ඇත.

                       අවසන් වශයෙන් කිව යුත්තේ, අප දැන් ක්‍රම ක්‍රමයෙන් ‘ලුබ්යානා පාසලේ’ අර්ථකථන වලින් තරමක් දුරස් වෙමින් සිටින බවයි. මීට හේතු විශාල ගණනාවක් ඇත. 93 වර්ෂයේ සිට මේ දක්වා ඔවුන්ගෙන් අප උගත් දේවල් අපමණ ය. නමුත් ජිජැක්ගේ කෘති විවිධ දිශානතිවලට පෙරළීමට ඕනෑම අයෙකුට හැකි ය. උදාහරණයක් වශයෙන්, ‘මා ඒකාධිපතියෙකු යැයි පෙන්නුම් කිරීමට’ මගේ විරුද්ධවාදීන් උපුටා දැක්වූයේ, ජිජැක්ගේ ‘Did Somebody Say Totalitarianism’ නම් කෘතියේ අදහස් ය. කෘතිය ලියා තිබුණේම විමුක්ති ව්‍යාපාර වලට ඒකාධිපති යැයි හංවඩු ගැසීම වැරදි බව පෙන්වීමට ය. නමුත් එම පොත ම එහි ප්‍රතිවිරුද්ධ අදහස බවට ද පෙරළිය හැකි ය. සරලව කිවහොත්, ජිජැක්ගේ කෘතිය හරහාම ඔහුගේ අදහස විසංයෝජනය කළ හැකි ය. මේ ඔහුගේ රචනාවල ඇති මුඛ්‍ය සංදිග්ධතාවයකි.

                      ඊට අමතරව, ‘දෘෂ්ටිවාදය’ විශ්ලේෂණය කිරීම පිළිබඳ වඩා දියුණු න්‍යායන් දැන් බිහි වී ඇත. මේ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් පුෂ්පජිත් සහෝදරයා කරමින් සිටියි. එහිදී, ප්‍රායෝගික මට්ටමේ දී මනෝවිශ්ලේෂණය පාවිච්චි කිරීම ගැන අදහස් මතු වේවි. උදාහරණයක් වශයෙන්, අවිඥාණය විදාරණය කිරීම ගැන තලයන් දෙකක් පවතින බව මේ වන විට විවිධ විචාරකයන් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, අවිඥාණයට (1) සායනික[Clinical] සහ (2) විචාරාත්මක[Critical] වශයෙන් විග්‍රහ දෙකක් ඉදිරිපත් කළ හැකි ය. ස්ත්‍රීන්ට හිස්ටීරියාව යැයි අප කියන බවට වැඩියෙන්ම බිය වී ඇත්තේ පිරිමින් ය. සායනික නොවන විචාරාත්මක අර්ථයෙන් අවිඥාණය අර්ථකථනය කරන විධික්‍රම අපි ඉදිරියේ දී ඉදිරිපත් කරන්නෙමු. එවිට, දේශපාලන භූමියෙන් ‘තමන්ගේ නිදන කාමරයට’ ස්ත්‍රීන්ව රූපාන්තරණය කරන අයව හෙළිදරව් වේවි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...