සමසමාජ පක්ෂය ආරම්භ වූයේ, 1935 වර්ෂයේ දී යැයි අනුමාන කළහොත්, ‘ධනවාදය’ (Capitalism) පිළිබඳ ගැටලුවට 2035 වර්ෂයේ දී සිය වසරක කාලයක් සැපිරේ. ඉහත කාලානුරූපයට අනුව දශක 8 පමණ කාලයක් ලංකාවේ ‘ධනේශ්වර විරෝධී’ (Anti-Capitalist Struggle) අරගලය සිදු වී ඇත. 60 දශකයට පසුව ඒ දක්වා පැමිණි අධිරාජ්‍ය විරෝධී අරගලය බමුණු කුලයට එරෙහි ජනතා විමුක්ති අරගලයක් බවට පරිවර්තනය විය. සමසමාජ පක්ෂයේ ධනපති පන්තියට එරෙහි අරගලය විජේවීරවාදයට එන විට සුළු ධනේශ්වර පහළ මැදපාන්තික (දේපළ සුළු ප්‍රමාණයක් සහිත එනිසාම අනාගතය දෙස බලවත් සැකයකින් බලන සමාජ ස්ථරය) බවට විකසනය විය. 

     අපගේ ගැටලුව ඉහත ඓතිහාසික අරගලය නොවේ. ඔබගේ ගැටලුව අප මෙලෙස සූත්‍රගත කරමු. මෙම සූත්‍රගත කිරීම සංකල්ප පත්‍රිකාවක මට්ටමට එහා ගමන් නොකරනු ඇත. මිනිස් සංහතියේ සුබසිද්ධිය වෙනුවෙන් අප කරන අරගලය ධනේශ්වර ලෝකයට එරෙහි අරගලයක් ද? 

   මන්දයත්, 20 වැනි සියවසේ අග භාගයේ දී සමාජ සැකසුම තුළ සිදු වූ බල ව්‍යුහයේ වෙනස්කම් නිසා විශේෂයෙන්, 68 ශිෂ්‍ය ව්‍යාපාරය සහ විවිධ ගරිල්ලා ව්‍යාපාර සහ හිපි ව්‍යාපාරය ද ඇතුළත්ව ප්‍රශ්න කරනු ලැබුවේ, පීතෘමූලිකත්වය මිස ධනවාදය නොවේ. මෙයට පලස්තීන අරගලය සහ වර්ණභේදවාදය ද ඇතුළත් කළ යුතුය. 21 වැනි සියවසේ මුල දශකය තුළ ගරිල්ලා ප්‍රපංචය එක්කෝ සහමුලින් විනාශ විය. නැතහොත්, ලතින් ඇමෙරිකාවේ දී මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට අනුකූල විය. ඉන්පසු, සෑම තැනම බිහි වූයේ නව-සමාජ ව්‍යාපාරයන් (New Social Movements- සමලිංගික ව්‍යාපාර, පරිසර කණ්ඩායම්, ආගම්වාදීන්, සංස්කෘතික මූලධර්මවාදීන්, ස්ත්‍රීවාදීන්, පෙරදිගවාදීන්, ඇමරිකන් විරෝධීන්…..) ය. මෙම නව-සමාජ ව්‍යාපාර එක අතකින් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා වැඩිමනත් දෙයක් වන අතර අනෙක් පසින්, ඒවාට වඩා දෙයක් අඩුවෙන් පවතියි. නව-සමාජ ව්‍යාපාර දෛනික ජීවිතයේ අරගල වලට සහභාගි නොවෙයි. අනෙක් අතට, මෙම නව-සමාජ ව්‍යාපාර පුද්ගලික ජීවිතයේ සුසමාදර්ශයන් විතැන් කිරීමට මැදිහත් වෙයි. උදා:- පිරිමි ශරීරයක් තුළ ස්ත්‍රී ආත්මයක් ඇත්නම් ඊට අනුකූලව එම ශරීරය ස්ත්‍රීකරණය කිරීමට විද්‍යාව පැත්තෙන් මැදිහත් වෙයි.

     ‘ධනවාදය’ නම් සංකල්පය 21 වැනි සියවසේ පළමු දශක දෙක තුළ මිය ගොස් එහි සැබෑ සාරය ඉවත් වී එහි ආකෘතිය නැතහොත්, සැකිල්ල පමණක් ඉතිරි වී ඇත. 

      ඉහත ඓතිහාසික සුසමාදර්ශය විතැන් වී ඇති නිසා දේශපාලනමය වශයෙන් විකල්ප 3 ක් ඉතිරි වී ඇත. 

 

1. ධනවාදයේ මිය යාම ප්‍රකාශ වීම. මෙය, සරදම්කාරී ලෙස මුලින්ම ප්‍රකාශ වූයේ ට්‍රොස්කිවාදියෙකු වන නික් බීම්ස් අතිනි. අපි ඔහුව උපුටා දක්වමු: 

       “ මෙහිදී අපට දක්නට ලැබෙන්නේ, ධනවාදී නිෂ්පාදන විදිහේ බිඳ වැටීමකි. එය, හුදෙක් ම කිසියම් ආකාරයකින් සමස්ත පද්ධතිය අත්හිටුවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ.” “පශ්චාත්-දෙවන ලෝක යුද සමය තුළ ට්‍රොට්ස්කිගේ ‘සම්භාව්‍ය මාක්ස්වාදයට’ තැනක් නොවීය. ට්‍රොට්ස්කිගේ හෝ විජය ඩයස්ගේ පරාජයන්ගෙන් මූර්තිමත් කෙරුනේ, ධර්මතාවයක් ලෙස ද ව්‍යාපාරයක් ලෙස ද සම්භාව්‍ය මාක්ස්වාදය පැටලී තිබෙන මූලික අකරතැබ්බය යි. එනම්, විප්ලවවාදී වර්ධනය පිළිබඳ මාක්ස්වාදී දැක්ම ද පන්ති අරගලය හා විප්ලවයේ තථ්‍ය ගමන් මාවත අතර ඇති අසංගතය සහ වෙන් වීමයි.” 

 

        සමාජ සැකැස්මක් ලෙස ධනවාදය අවසන් වීම පිළිබඳව ඉහත නික් බීම්ස් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවාදය අඩුම වශයෙන් ලංකාවේ හතර වන ජාත්‍යන්තරය නියෝජනය කරන සමානතා පක්ෂයටවත් වැටහුණේ නැත. එම නිසා, ඔවුන් අවසන් වූ ධනවාදයක් විනාශ කිරීමට පසුගිය දශක දෙක පුරාම උත්සාහ ගත්තේ ය. 

       ධනවාදයේ අවසානය පිළිබඳව මීළඟ නිවේදනය අපට හමු වන්නේ, මාක්ස්වාදය පිළිබඳ අර්ථකතනවේදියෙකු සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වන මොයිෂ් පොස්ටොන් (Moishe Postone) ගෙනි. ඔහුගේ ප්‍රවාදය වන්නේ, ශ්‍රමය පිළිබඳ වටිනාකම් න්‍යාය නූතන ගෝලීයකරණය තුළ බිඳ වැටී ඇති අතර එම නිසා, ‘වටිනාකම’ (Value) පිළිබඳ අදහස මිය යමින් පවතින බවයි. එවිට, ‘වටිනාකම්’ ගොඩ ගැසීම සඳහා ප්‍රාග්ධනය ජීවිතය දෙසට හැරෙන අතර ලාභ සමුච්චනය උදෙසා ‘ජීවිතය’ (Life) ඉදිරිපත් වන බවයි. මෙය, අප මීට කලින් ද ඉදිරිපත් කර ඇති පශ්චාත්-නූතනවාදය පිළිබඳ ප්‍රවාදය තහවුරු කරයි. එනම්, සංස්කෘතිය සහ කලාව සෞන්දර්යය තලයක දී ආර්ථික සමුච්චනය සඳහා ආදේශ වන බවයි. සංස්කෘතිය තවදුරටත් මිනිසා ගොඩනඟන ප්‍රපංචයක් නොව මායාවන් නිපදවන ක්ෂේත්‍රයක් (Ideology) බවට විකරණය වෙයි. 

      නැවත අපි නික් බීම්ස් උපුටමු. 

         “ ජාතික රාජ්‍යය යනු, භූගෝල විද්‍යාත්මක නොව දේශපාලන සැකැස්මයි. එය, ධනේශ්වර සමාජය සිය උවමනාකම් සහ අයිතීන් සඳහා සටන් කිරීමට නිර්මාණය කර ගත් දේශපාලන ව්‍යුහයකි. ශ්‍රමිකයන් නිශ්චිත ස්ථානයක ජීවත් වෙති. එහෙත්, ඔවුන්ගේ අරගලයන්හි පරාසය තීරණය කෙරෙන්නේ භූගෝලයෙන් නොව සමාජ ප්‍රශ්නයන්ගෙනි. 

    ජාතික රාජ්‍යය වාස්තවික යථාර්තයකි. එය, ගැටලුවේ ආරම්භය මිස අවසානය නොවේ. මන්දයත්, හේගල්ගේ භාෂාවෙන් කිවහොත් ජාතික රාජ්‍යය යනු, අතාර්කිකත්වයට පත්ව තිබෙන සහ ඒ නිසාම ඊට ඉහළ අවදියක් කරා ගමන් කිරීමට විභවතාවයක් තිබෙන නිසා ය. එනම්, ජාතික රාජ්‍යය තුළ හටගත් සියලු අන්තර්ගතයන් එහි රාමුවෙන් එළියට පැන තිබේ. නමුත්, මේ පරස්පරය අප විසඳන්නේ නැත්නම් 1914 සිට 1945 කාල පරිච්ඡේදය මෙන් මිලෙච්ඡත්වයේ නව කාල පරිච්ඡේදයක් ඇති වීමේ තර්ජනයට සමස්ත මනුෂ්‍ය වර්ගයා මුහුණ පා සිටී.” 

 

   පශ්චාත්-ධනවාදය පිළිබඳ තවත් තිසීසයක් යානිස් වරුෆාකිස් සහ ජොඩි ඩීන් නම් ඇමරිකානු දේශපාලන විද්‍යාඥවරිය විසින් ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව, ධනවාදය සමාජ-ක්‍රමයක් ලෙස අවසන් වී ඇති අතර ඒ වෙනුවට අප නව-වැඩවසම් (Neo-Feudalism) සමාජයකට ඇතුල් වී ඇත. බිල් ගේට්ස්, සකර්බර්ග්, ඊලොන් මස්ක් වැනි පුද්ගලයන් යනු මේ නව-වැඩවසම්වාදයේ වංශාධිපතියන් ය. ඔවුන් ලාභ සහ වටිනාකම් මවන්නේ, බදු කුලිය හරහා මිස ශ්‍රමය පදනම් කොටගෙන නොවේ. (උදා:- Uber, ලාභ නැහැ; වටිනාකම් වැඩි) මෙම නව-වැඩවසම්වාදයේ මූලික ලක්ෂණයක් වන්නේ අධ්‍යාපනය, දරුවන්ව සමාජ-සාරධර්මවලට පුහුණු කිරීම, රැකියාව යන මේ සියලුම අංශය නැවත කුටුම්භය කරා සංකේන්ද්‍රණය කිරීමයි. උදා:- ළමයින්ට ගුරුවරුන් ගෙදරට ගෙන්වා ඉගැන්වීම; work from home. 

 

2. ධනේශ්වර විරෝධීන් (Anti-capitalist) නොහොත් පවතින-ක්‍රම (Anti-systemic) විරෝධය. මෙය, සාම්ප්‍රදායික මාක්ස්වාදය ඔස්සේ එන නිෂ්පාදන බලවේග සමාජීයකරණය කිරීම පිළිබඳ ගැටලුවකි. මේ ධනේශ්වර විරෝධීන් ආර්ථික විද්‍යාව ගර්හිත බුර්ෂුවා විද්‍යාවක් ලෙස සලකන අතර දේශපාලන-ආර්ථිකයේ පැරණි සූත්‍රය නැතහොත්, නූතන ලිබරල්වාදයේ කුළුණු හතර වන නිදහස, සමානාත්මතාවය, පුද්ගලික දේපළ සහ ජෙරම් බෙන්තම් (පුද්ගලික අවශ්‍යතා) අධිනිශ්චය කරමින් පශ්චාත්-නූතන පන්ති අරගලය අමතක කරන ලදි. පශ්චාත්-ධනවාදීන්ගේ ආත්ම මූලික ව්‍යුහය හිස්ටෙරික නම් ඉහත කී ධනේශ්වර විරෝධීන් විපරිතයන් (Perverts) ය. විපරිතයන්ගේ ආශාව විශ්ලේෂණය කිරීම ඉතා අපහසු වන්නේ, ඔවුන් සායනයට ඒම තදින් ප්‍රතික්ෂේප කරන නිසා ය. විපරිතයන්ට ප්‍රතිකාර කිරීම යනු, ඔවුන්ව හිස්ටරීයකරණය කිරීමයි. මෙය පහසු නැත. මන්දයත්, ඔවුන් ජනතාව නම් නිශ්ශබ්ද බහුතරයේ ආශාව රඟ දක්වන අතර ඔවුන්ගේ විනෝදයේ උපකරණයක් වන නිසා ය. 

   

(C ) කොමියුනිස්ට්වාදීන්- මෙමගින් අදහස් වන්නේ, ධනේශ්වර ක්‍රමය තුළම හට ගන්නා ආත්මමූලික අන්තර්ගතයන් නැතහොත්, ෆැන්ටසීන් තරණය කොට ධනාත්මක ජීවයක් බිහි කර ගැනීමයි. අතිරික්තයන් රහිත මෙවැනි සමාජයක ජීවත් වීම ධනවාදයට සාපේක්ෂව උදාසීන පැවැත්මකි. ධනේශ්වර සමාජය යනු, ඊට පෙර පැවති වහල් යුගය, වැඩවසම් වාදය වැනි යුගවලට වෙනස්ව තම නිශේධනය උරා ගන්නා සමාජ-ක්‍රමයකි. එම නිසා, ප්‍රංශයේ පහළ වූ දාර්ශනිකයන් සහ විශ්ලේෂකයන් වන ලැකාන්, ෆූකෝ, ඩෙරීඩා, බදියු, ඩලුස් ධනේශ්වර විරෝධී චින්තකයන් ලෙස සැලකීම දෘෂ්ටිවාදී ය. මන්ද, ධනවාදයට එරෙහි වීම එය විසින්ම උරා ගන්නා නිසා ය. මෙම චින්තකයන් ධනවාදී විවේචකයන් ලෙස පළමුව සලකා බැලුවේ රොහාන් පෙරේරා ය. ඊට පරස්පරව, අප ඉහත චින්තකයන්ව කියවන්නේ දාර්ශනිකයන් ලෙස මිස ධනපති විරෝධීන් ලෙස නොවේ.

 

      ගෝලීය මට්ටමින් ලෝකයේ විවිධ අරගල වගුවකට දා ගතහොත්, ඒවා ඉහත ආකෘති තුනෙන් එකකට ඇතුල් වෙයි. අපගේ ස්ථාවරය වන්නේ, තුන්වැන්න වන අතර එම ආස්ථානය පිළිබඳ ප්‍රවාදයන් ඉදිරි කාලයේ දී විදාරණය කිරීමට අදහස් කරනු ලැබේ. යම් කෙනෙකු අපව ධනවාදී යැයි හෙළා දකින්නේ නම්, එය අපි ආශිර්වාදයක් කොට සලකන අතර රට තුළ සිටින හදිසි ධනපති විරෝධීන්ට මුළු හදවතින්ම ඉදිරියට යාමට ආශිර්වාද කරන්නේමු.

 ඉදිරිමග පැහැදිලි ය. 

සමහර තරු නිවෙමින් පවතී. 

අහස කලු වීම ගැන බියක් නැත. 

ගැටුම, පරස්පරය ඇත්තේ අප තුළම ය. 

  

  • සමබිම පක්ෂය – 

ඔබේ අදහස කියන්න...