ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය පිළිබඳව විචාරයක් ලිවීමේ දී පූර්ව කොන්දේසියක් මතු වී ඇත. එම චිත්‍රපටය පදනම් වී ඇත්තේ, ‘ආදරය’ මත ය. අප ජීවත්වන යුගයේ දී ‘ආදරය’ සුවිශේෂී ඉරණමක පැටලී ඇත. අපි එම ඉරණම ‘පූර්ව ඉරණම්කරණය’ (Predestination) ලෙසින් හඳුන්වමු. අපි මොහොතකට එංගල්ස්ගේ සංස්කෘතිය පිළිබඳ ප්‍රවාදය පිළිගන්නේ නම්, සංස්කෘතිය යනු සොබාදහමට එරෙහිව මිනිසාගේ අරගලය යි. අනෙක් අතට, හේගල් වැනි දාර්ශනිකයෙකුට අනුව ‘සංස්කෘතිය’ යනු, මිනිසාගේ දෙවැනි සොබාදහමයි.[Second Nature] විචාරශීලී නොවන මනසකට සංස්කෘතිය පෙනී යන්නේ වෙනස් කළ නොහැකි දෛවයක් ලෙසිනි.

        ප්‍රඥාව නම් බස්සා තටු සලන්නේ ගොම්මනේ දී යන හේගලියානු ආප්තය අප ‘ආදරය’ නම් සංකල්පයට යොදන්නේ නම්, ආදරය නම් සංකල්පය සමකාලීන ජීවිතය තුළ යථාර්ථයක් වී ඇත. එනම්, කිසියම් යථාර්ථයක් සම්පූර්ණ ලෙස සංකල්පයට නැඟිය හැක්කේ එය අවසාන වූවාට පසුව ය.

       අප මෙතෙක් කල් ජීවත් වූයේ, ‘ආදරයේ යථාර්ථය’ සංකල්පයකට අවශෝෂණය කිරීමට නොහැකි වූ යුගයක ය. දළ වශයෙන්, ආදරය න්‍යායගත කිරීමට ලංකාවේ දී දරන ලද උත්සාහයන් තුනක් ඉතිහාසයේ සටහන් වී ඇත. ඒවා පහත පරිදිය:

 

1. ආදරයේ යථාර්ථය 1,2– රොහාන් පෙරේරා – 1985.

 

2.ප්‍රේමය පසසනු වස්– කෞෂල්‍ය කුමාරසිංහ, විදුර ප්‍රභාත් – 2013.

 

3. රොමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම– ප්‍රදීප් ජෙගනාදන්, කෞෂල්‍ය කුමාරසිංහ, විදුර ප්‍රභාත් – 2021.

 

         80 දශකයේ මැද දී, රොහාන් පෙරේරා රැඩිකල් ස්ත්‍රීවාදය මත පදනම්ව ධනේශ්වර විරෝධී ප්‍රේමයක කළල අවස්ථාව සිය ‘ආදරයේ යථාර්ථය’ කෘතිය තුළින් නිරූපණය කරන ලදී. (මෙම කෘතිය කියවීමට ‘මාතොට’ සඟරාවට යොමු වන්න) කෘතියේ මූලික ප්‍රවාදය වූයේ, ආදරය ධනවාදය මඟින් නිශේධ වන විවාහ ආකෘතිය පෙන්වා දීමයි. ඉතුරු කෘති දෙක මඟින් ප්‍රකාශ වූයේ, ආදරය දෙස දාර්ශනික ඇස මඟින් නිරීක්ෂණය කිරීමයි. එනම්, ආදරය යන්න දේශපාලනය, ආගම, කලාව මෙන් පරමත්වය සහ සත්‍යය අත්වීඳිමක් ලෙසින් ප්‍රකාශයට පත් වීම ඉහත කෘති දෙක මඟින් විශ්ලේෂණය වෙයි.

        රොහාන්ගේ කෘතිය තුළත්, අන් අයගේ කෘති තුළත් ප්‍රේමයේ දී මෙන් නොව ලිංගිකත්වයේ දී ඔබ සිටින්නේ තනිවම බව පැහැදිලිවම පිළිගනියි. එහිදී, අනෙකාගේ ශරීරය මැදිහත් වන මුත් එය අත්වැසුමකට (Gloves) එහා නො යන බව ද අවිවාදිත ය. සරලව කිවහොත්, ඕනෑම ලිංගික අත්දැකීමක් ස්වයං-මෛථූනයක් පමණි. අනෙකා කරන්නේ, මේ ස්වයං-මෛථුනයට භක්තිමත් වීම පමණි. එම නිසා, ලිංගිකත්වය අවසන් වන්නේ අනෙකා ඔබගෙන් වෙන් කරමිනි. මෙය, කනස්සලු ස්වභාවයක් වුවත් සත්‍යයකි. ආදරය නොකර විවාහ වීම සේම ආදරයකින් තොර විවාහයක් තුළ රැඳී සිටීම පාපයක් බව කාන්ට් සඳහන් කරන්නේ මේ නිසා ය.

     එසේ නම්, ‘ආදරය’ කියන්නේ, ලිංගික සබඳතාවල දී අපට මුණ ගැසෙන ක්ෂතිමය අත්දැකීමෙන් මිදීමට අප බාහිරින් සාදා ගන්නා ප්‍රබන්ධයක් ද? අනෙක් අතට, ලිංගික උමතුවේ අඩුව සැපරීම ආදරය ද? ඒ අර්ථයෙන්, ආදරය ආධ්‍යාත්මික ලිංගික සබඳතාවයකට පවා ඇති ආදේශකයක් ද?

      ලිංගිකත්වයේ දී ගෙම්බෙකුට කුකුල් පැටියෙක් තරම් ඉදිමීමට හැකි වූවත් ආදරයේ දී ගොළුබෙල්ලෙකුට සිය කවචයෙන් හිස එළියට දැමීමට සිදු වෙයි. එම නිසා, ප්‍රේමය අනෙකාගේ සත්තාව වෙතට යොමු වෙයි. සිමොන් දි බෝවාගේ ‘Second Sex’ තුළ දී පහත අදහස මතු කරයි:

      “ලිංගික එක්වීමක් අවසානයේ පිරිමියා ගැහැණියගේ ශරීරය අවලස්සන ලෙස දකින අතර ඊට සමාන්තර විශ්වයක ගැහැණියට ප්‍රාණවත් වූ ලිංගය හැර අන් සියල්ල ඔක්කාරයක් ජනිත කරයි.”

 

     ඉහත කෘති තුනෙහි කතුවරුන් සහ මා අතර ආදරය පිළිබඳ ස්ථාවරයේ වෙනස මෙතැන දී මම අවධාරණය කරමි. ඒ ප්‍රවාදය මෙසේ ය:

      “ලිංගිකත්වය අත්දැකීමකි. අනෙක් අතට, ආදරය පිළිබඳ බහුතර අදහස් ද පදනම් වන්නේ අත්දැකීම (Experience) මත ය. එනම්, ඒ අදහස් ප්‍රපංචවේදී ය. නමුත් මා යෝජනා කරන්නේ, ධනවාදී නූතනත්වය තුළ පූර්ව-ඉරණම්කරණයට ලක් වී ඇති ආදරය අත්දැකීමෙන් නිදහස් වී සංකල්පයකට පරිවර්තනය වී ඇති බවයි.”

 

    රොහාන්ගේ ප්‍රේමය පිළිබඳ ප්‍රවාදවල දී දක්නට ලැබෙන මූලික ලක්ෂණය වන්නේ, ප්‍රේමයට බාහිරින් ඇති බාධා හඳුනා ගැනීමයි. උදාහරණ වශයෙන්, ප්‍රේමයට ඊට පිටතින් ඇති පුරාධිපත්‍යය බාධාවකි. ප්‍රේමයට ඊට පිටතින් තිබෙන ධනවාදය සහ භාණ්ඩ අර්චනකාමය බාධාවකි. ප්‍රේමයට ඊට බාහිරව පවතින කුලය, වර්ගය, වර්ණය බාධාවකි. අවසන් වශයෙන්, ප්‍රේමයට ඊට පිටතින් පවතින සිවිල් චින්තනය ද බාධාවකි.

      ඇලන් බදියු නම් ප්‍රංශ දාර්ශනිකයා ආශාව සහ ආදරය අතර වෙනස පැහැදිලි කරන්නේ මෙසේ ය:

      “ආශාව අනෙකා වෙත, පියයුරු, තට්ටම්, ඇස්, ශිෂ්ණය වැනි සුවිශේෂී අවයව වෙත යොමු වන විටදී ආදරය යොමු වන්නේ, තමන්ගේම සහ අනෙකාගේ ව්‍යාකූල ජීවන තත්ත්වය දෙසට ය. එනම්, එය තවදුරටත් දැනුම සහ අත්දැකීමට අදාළ අඩවියක් නොවන බව පසක් වන මොහොතේ දී ආදරය සද්භාවවේදයට (Ontological) ඇතුළු වෙයි. එම නිසා, ආදරය පිළිබඳ දාර්ශනික ප්‍රවර්ග තුනක් තිබේ.” 

 

1. පළමුවැන්න, රොමාන්තික ආකෘතිය යි. මෙහිදී, දෙපසින් පැමිණෙන පලු දෙකක් එකක් අනෙක සොයා යන්නාක් මෙන් අතරමැදක දී සම්මුඛ වෙයි. මෙය, ප්‍රේමය පිළිබඳ සුසංවාදී ප්‍රවාදය යි.

 

2. දෙවැන්න, යෝජිත ප්‍රේමය යි. එහිදී, ප්‍රේමය සඳහා එකතු වීම ගිවිසුමක හැඩයක් ගනියි. එහිදී, සමානත්වය සහ ප්‍රතිලාභ අතර මුහුවක් සිදු වෙයි.

 

3. ප්‍රේමය යනු, මායාවක් බවත් එහි සාරය යනු රැවටීමට ලක්වීම බවත් පිළිගන්නා සංශයවාදය ද ප්‍රේමය පිළිබඳ දර්ශනවාදයක් නිපදවයි. කෙනෙක් දෙකෙහි දෘෂ්ටිකෝණයෙන් ලෝකය පිළිබඳව ගවේෂණය කර එළඹෙන තීරණය ප්‍රේමය යි. එමෑනුවෙල් ලෙවිනාස් කියන්නේ ප්‍රේමය යනු, අනෙකාගේ මුහුණ බවයි. නමුත්, දේශපාලනය පැත්තෙන් බැලූ විට දී ප්‍රේමය යනු, අනෙකාගේ පසමිතුරුභාවයට තමන් සම්මුඛ වීමයි. මෙම අර්ථයෙන් ප්‍රේමය යනු, අනෙකාගේ පාරාන්ධභාවය නොව නිරුවතයි නැතහොත්, අනෙකාට සම්මුඛ වීමයි. ප්‍රේමය සත්‍යයට සම්මුඛ වීමක් ද වන්නේ එම නිසා ය. එහිදී, ඔබ ඔබගේ කවචයෙන් එළියට යාමක් නිරූපණය වෙයි.

 

    ඉතිහාසයේ යම් මොහොතකට පසුව ආදරය නම් මිනිස් සබඳතාවය රැඩිකල් විපර්යාසයකට භාජනය වන අතර එම රැඩිකල් මොහොතට පසුව ‘ආදරය’ තවදුරටත් ක්ෂතිමය හමුවක් වීම සමාජයෙන් වියැකී ගොස් එතැනට ක්ෂතිමය නොවන සංකේත කතිකාවක් [Symbolic Discourse] මුණ ගැසෙයි. මෙම නව සංකේත කතිකාව 21 වැනි සියවසේ නව – ධනවාදී කතිකාවකි. මෙම හේතුව නිසා, අප ඉහත සාකච්ඡා කළ කෘති තුනම අභාවයට යන අතර ‘ආදරය’ නව-ක්ෂතිමය  සම්මුඛ වීමකට ලක් වෙයි.[New Trauma]

      න්‍යායිකව මෙම තත්වය විග්‍රහ කිරීම තරමක දුෂ්කර කාර්යයකි. එම නිසා, අපි කෙටි ඓතිහාසික පර්යාවලෝකනයකින් පටන් ගනිමු. සමකාලීන සමාජය ගැට ගැසී ඇති විරුද්ධාභාසය (Paradox) මෙසේ පැහැදිලි කිරීමට හැකිය. එක පැත්තකින්, මාධ්‍ය සහ අධිපති දේශපාලන පක්ෂ මගින් ප්‍රතිචක්‍රීයකරණය කරන වට්ටෝරුව මෙසේ ය. අදහස් ප්‍රකාශන අයිතිය, නිදහස් තෝරා ගැනීම්, අසීමාන්තික විභවයන්, අනන්තය දක්වා දිගු වූ අනන්‍යතාවයන් (අනන්‍යසන්නිපාතය) එක පැත්තක ගොඩ ගසා තිබේ. අනෙක් පැත්තෙන්, ඉහත විවිධත්වය කළමනාකරණය කිරීමට තිබෙන්නේ එක විකල්පය යි. එනම්, නිදහස් වෙළඳපොළ නම් මූලධර්මවාදය (Free Market Fundamentalism) යි. අනෙකුත් සියලුම මූලධර්මවාදයන්ගේ මාස්ටර් මූලධර්මවාදය වන්නේ, නිදහස් වෙළඳපොළ යි. මෙම දෛවය නොපිළිගන්නා සියලු දෙනාගේ ඉරණම විනාශය යි. මෙම මූලධර්මය හැර වෙන ඕනෑම සම්මතයක් -ලිංගික අත්හදා බැලීම්වල සිට පිටසක්වළ පදිංචියට යාම දක්වා- බිඳීමට කිසිවෙකුට කිසිදු බාධාවක් නැත.

     එක්තරා අන්දමකට අප මේ ජීවත් වන්නේ, එමෑනුවෙල් කාන්ට් විසින් පහදන ලද සීමාසහිත ලෝකයක (Finite World) ය. මෙම ලෝකය තුළ ආත්ම මූලික වශයෙන් ඕනෑම අත්හදා බැලීමක් කළ හැකි ය. උදාහරණයක් ලෙස, ඔබට දෙපයින් ඇවිද යාම එපා වී ඇත්නම්, එකක් කපා දමා අංගවිකලයෙකු ලෙස නව ජීවිතයක් ආරම්භ කළ හැකි ය. ඔබට සුදු ස්ත්‍රී ශරීරයක් තුළ ස්ත්‍රියක් ලෙස ජීවත් වීම ආතතිගත නම්, ඔබට හම කලු කර කලු ස්ත්‍රියක් ලෙස අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකි ය. මේ සියල්ල, ඔබ කළත් ඔබට බාහිරින් පවතින ධනවාදය වෙනස් කිරීමට නො හැකි ය.

     සමකාලීන යුගයේ මූලික ගැටලුව වන්නේ, මෙම දෛවවාදී සීමාන්තික ප්‍රවර්ගයෙන් ඉවත් වන්නේ කෙසේ ද යන්න ය. එනම්, පරිමිතභාවයෙන් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද යන්න ය. අවිනිශ්චිතභාවය හැර අන් නිශ්චිතභාවයක් නැති තැනක අපරිමිත බවට ළඟා විය හැක්කේ විද්‍යාව හා බද්ධ වූ කතිකාවකින් යන්න සමපේක්ෂණ යථාර්ථවාදීන්ගේ නිගමනය යි. නමුත්, හේගල් කතා කරන සමපේක්ෂණය වෙනස් යථාර්ථයකි. ඔහුට අනුව, ආත්මමූලික සහ වාස්තවික අඩවි දෙකෙහි ඒකීය වීම සංයුක්ත සමස්තයකි.

    සමපේක්ෂණය යනු, අවබෝධය (Understanding) නොවේ. සෑම දෙයක්ම පටන් ගන්නේ, අවබෝධයෙන් බව සැබෑ ය. අප යමක් අවබෝධ කර ගත්තා යනු, ඒ දෙය තුළ ඒකත්වයක් හෝ ඒකාත්මික බවක් දැකීමයි නැතහොත්, යමක පරිමිත බව දැකීමයි. නමුත්, මේ දෙයෙහි ‘පරිමිත බව’ චලනය වනවා යනුවෙන් සිතන්නේ නම් එහි දී අපට සමපේක්ෂණය කිරීමට අවශ්‍ය වෙයි. ඒ අර්ථයෙන් ගත් විට දී, අවබෝධයට එහා ගමන් කිරීමට යමක ඒ තුළම ඇති ස්වයං ප්‍රතිවිරෝධය ගැන සිතීමට සිදු වෙයි. අත්දැකීම නම් සංසිද්ධිය මෙහිදී අපට උදව් නො කරයි. යමක අභ්‍යන්තර ප්‍රතිවිරෝධයේ ගතිකත්වය පිළිබඳව නැතහොත්, එහි ආපතිකත්වය පිළිබඳව අනුමාන කිරීම අයත් වන්නේ, සමපේක්ෂණයට යි. අවබෝධයට ගත නොහැකි බොහෝ දේවල් හැම්ලට් නාට්‍යයේ දී මෙන් පෙනෙන්නට ගන්නේ එවිට ය. එනම්, ඔබගේ දර්ශනය තුළ දකින හීන වලට වඩා දේවල් මේ පොළොව මත සහ ස්වර්ගයේ දී සිදු වෙයි. මින් අදහස් වන්නේ, යම් මොහොතකට පසුව තර්කය හෝ හේතුව අවබෝධනයෙන් සමුගෙන සමපේක්ෂණය වැළඳ ගත යුතු බවයි. මේ අර්ථයෙන් ගත් විට දී, අධ්‍යයනයට තුඩු දෙන වස්තුව වනා හී පරස්පරයේ එකමුතුව සහ අසම්පූර්ණත්වයේ සංකලනයකි. ඒ අනුව, සමපේක්ෂණය අවබෝධනය තුළ නො තිබුණු සාරයක් ගවේෂණය කරනවා නොවේ. එමගින් සිදු වන්නේ, සංකල්පය තුළ ම ඇති කැපුම දැකීමයි.

    අපි දැන්, නැවත ආදරය පූර්ව-ඉරණම්කරණයකට ධනවාදය තුළ ගැට ගැසෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. සරලව කිවහොත්, ඉතිහාසයේ ප්‍රථම වරට ‘ආදරය’ හෙජමොනික අරගලයකට ඇතුළත් වී ඇත. එසේ නම්, අප ආදරය පිළිබඳ පූර්ව-නූතන ආචාරධර්ම (Ethics) පිළිබඳව හැදෑරිය යුතු ය. ආදරය නොමැති විවාහය බොල් වන අතර හොඳ ආර්ථිකයක් නැති විවාහය අන්ධ ය. නූතන ආදරය මුහුණ දී ඇති එහෙත් රෝමියෝ සහ ජුලියට් නො දන්නා නව ප්‍රතිවිරෝධය අපි තවදුරටත් විදාරණය කරමු.

     ආලෙන්කා සුපැන්චිත් නම් දාර්ශනික චින්තිකාවට අනුව, ධනේශ්වර නූතනත්වය තුළ ආදරවන්තයන් සාධක දෙකක් ගවේෂණය කළ යුතු ය.

 

1. රොහාන් පෙරේරාගේ සිට කෞශල්‍ය කුමාරසිංහ හා ප්‍රදීප් ජෙගනාදන් දක්වා (බාහිරින්, මේ අය විවිධ වුව ද අභ්‍යන්තරිකව එකම කුලකයට අයත් වේ) පරාසයක සිතන්නන්ට අනුව ෆ්‍රොයිඩ්ගේ ආප්තය වන ‘ස්ත්‍රිය නො පවතී’ යන්න බාහිර තලයක පමණක් පවතින නිශේධනය කි. එනම්, ස්ත්‍රිය නො පවතින්නේ ඊට බාහිරින් පවතින පුරුෂ-මූලික සමාජ බල රටා නිසා ය. එම නිසා, ආදරය එයට බාහිරින් පවතින පුරුෂයා, විවාහය, ලිංගිකත්වය, දැනුම යනාදී සාධක නිසා දූෂණය වෙයි. මෙම අදහස, ඇලන් බදියු දක්වා දිගු කළ හැකි ය. නමුත්, ආලෙන්කාගේ ප්‍රවාදය මීට පරස්පර ය:

            “ ‘ස්ත්‍රිය නොපවතී’ යන ප්‍රවාදයෙන් ගම්‍ය වන්නේ, එය පුරුෂ-මූලික සමාජ රටාවේ මර්දනීය සාධකයක් යන්න නොවේ. ඒ වෙනුවට, ඉන් අදහස් වන්නේ, ස්ත්‍රියගේ පුරුෂ-මූලික මර්දනය ද ඇතුළත්ව ස්ත්‍රිය නො පවතී යනු පුරුෂ මූලික සමාජය ඇයව මර්දනය කරනවා යන සංඥාවෙන් ගැලවීමට දරණ ලද යාන්ත්‍රණය බවයි. මේ හේතුව නිසා, ස්ත්‍රියට පුරුෂ මූලික සමාජයක දියණියන්, සහෝදරියන්, අම්මාවරුන්, බිරින්දෑවරුන් ලෙස හොඳ පැවැත්මක් ඇත.” 

ඉහත හේතුව නිසා, ස්ත්‍රියක් වීමට දිශාණතියක් ධනේශ්වර සමාජය තුළ තිබෙන අතර නැත්තේ ආදරය දෙසට දිශාණත වීමක් ය.

 

2. කාන්ට් විසින් පහදන සදාචාර දර්ශනයට අනුව එහි පදනම වන්නේ, පූර්ව ඉරණම්කරණය (Predestination) යි. ඊට අනුව, අපගේ ක්‍රියාවන් බාහිර වටිනාකම් පද්ධතියකින් මැනීම එනම් සදාචාරය අඩි කෝදුවක් ලෙස සැලකීම පැරණි යුගයට අයිති සදාචාරයකි. සරලව කිවහොත්, අප හොඳ ක්‍රියාවක් කළහොත් ඊට හොඳ ප්‍රතිඵලයක් ලැබේ ය යන්න අසත්‍යයකි. මෙහිදී අභියෝගයට ලක් වන්නේ, කුසලාකුසල විනිශ්චය යි. බාහිර විනිශ්චයකරුවෙකු- පක්ෂය, ආගම, ගුරුවරුන්, සංස්කෘතිය, න්‍යාය– විසින් දෙනු ලබන වටිනාකම් හෝ රීති පද්ධතියකට අනුකූලව ක්‍රියා කිරීම පැරණි සදාචාරය යි.

නූතන-ධනේශ්වර සදාචාර ලෝකය තුළ බහුතරය අත් හිටුවන්නේ, ඉහත බාහිර හර පද්ධතිය යි. අප හොඳ වැඩක් කළහොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන මෝඩයන් අප අතර දැන් නැත. අපගේ ක්‍රියාවන් විනිශ්චය කරන අනුභූති උත්තර අනෙකෙක් නැත. අපගේ ක්‍රියාවන්වල විනිශ්චයකරුවා අපම ය. එයට කාන්ට් විසින් කියන්නේ, අභ්‍යන්තර නිදහස කියා ය. මෙම අභ්‍යන්තර නිදහස පාලනය වන්නේ, අපගේ අවිඥාණයෙනි. එනම්, පෙර සිට ම අභ්‍යන්තරිකව අපගේ ඉරණම තීන්දු වී ඇත. තමන්ගේ දෛවය හෝ අවාසනාව බාහිර මිනිස්සුන්ගෙන් තීන්දු වී ඇතැයි අදහන්නන් පූර්ව-නූතන ය. 

 

      ඉහත සාධක දෙක එකට එකතු කළ විට දී ආදරයට නූතන ධනවාදය තුළ සිදු වී ඇති විපර්යාසය එක්තරා මොහොතකට පසුව අභ්‍යන්තරික ය. එය, බාහිර අනේකත්වයක් නිසා- එනම් පුරුෂයා, ලිංගිකත්වය- දූෂ්‍ය වන්නක් නොවේ. ආදරයේ සමකාලීන බව තුළ එහි දූෂිතත්වය සද්භාවාත්මක (Ontological) ය. මෙහි සරල අදහස වන්නේ, නූතන ධනවාදී සමාජ සබඳතා තුළ දී අපට ආදරයේ දූෂිතත්වය පෙනී යන්නේ ඕපපාතික ප්‍රපංචයක් නැතහොත්, අහසින් කඩා වැටුණු දෙයක් ලෙසිනි. මෙම දූෂිතත්වය ස්වාර්ථක හෝ පරාර්ථක එකක් නොවේ. මේ දිනවල වාමාංශික වේදිකාවල බෙරිහන් දෙන ඊනියා මාක්ස්වාදියකුගේ ප්‍රේමයේ ඕපපාතික බව අපි සලකමු. මෙම ප්‍රේමයේ සාරාත්මක අඩංගුව මෙසේ ය. මාසිකව සුළු වැටුපක් ලබන මේ විප්ලවවාදියාගේ දෛනික ජීවිතය රහස්‍ය ආකාරයකින් සුවපහසු කිරීමට පෙම්වතියගේ ශිෂ්‍යත්ව අරමුදල් යෙදවෙයි. අනෙක් පසින්, පෙම්වතිය ‘ප්‍රේමය’ ලෙස අපේක්ෂා කරන්නේ කොළඹ දේශපාලන සමාජය තුළ ‘බුද්ධිමත් කාන්තාව’ යන ලේබලය යි. එම ලේබලයේ අන්තර්ගත සුලබ වචන ගොඩක් වීම සෑහේ. නූතන ප්‍රේමය යනු, එකිනෙකා හුවමාරු කර ගන්නා වචන ගොඩක් පමණි. මේ වචන වලට ඇත්තේ, හුවමාරු වටිනාකම් පමණි.

       ඇලන් බදියු පවා ආදරය හා සම්බන්ධ ධනේශ්වර යාන්ත්‍රණය වටහා ගන්නේ, සංකේතීය පද්ධතිය තුළ දී පමණි. ඔහුට අනුව, නූතන ප්‍රේමය තුළ දී ගැළපීම (Match) නම් සාධකය අධිනිශ්චය වී ඇත. මෙහිදී, නො ගැළපීම යන සාධකයට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නැත. සමාජජාලා පැතිර යාමත් සමඟම මේ ගැළපීම සහ නො ගැළපීම අතර නව-දයලෙක්තික මුහුවක් හටගෙන ඇත. මේ හේතුව නිසා, නූතන ප්‍රේමයේ දී එකිනෙකා පිළිබඳ තක්සේරු වාර්තාවක් එකිනෙකා විසින් කැඳවා ගනියි. එහිදී, පන්තිය, වර්ගය, කුලය, ප්‍රදේශය, පවුල් පසුබිම ආදී සාධක පෙරබිමට පැමිණ ඇත.

     දැන් අප දන්නා පරිදි, ධනවාදී නූතනත්වය ඇතුළත නූතන මිනිසාගේ ඉරණම තීන්දු වන්නේ පූර්ව-ඉරණම්කරණය තුළින් ය. මෙම නව සන්දර්භය තුළ අපගේ අවිඥාණය සහ ධනවාදී ආත්මය යන ප්‍රපංච දෙකටම පොදු සාධකය වන්නේ, පූර්ව-ඉරණම්කරණය යි.

     ‘පූර්ව-ඉරණම්කරණය’ නම් පොදු සාධකය අදාළ වන මූලික ක්ෂේත්‍ර දෙක වන්නේ;

 

1.අපගේ අවිඥාණය (Our Unconscious)

 

2. ධනවාදයේ සදාචාරය (Capital Morality)

 

      අප මෙතෙක් සංවාද කරන ලද සන්දර්භයට අනුව ආදරයට අදාළ සම්මත බාධකය වූයේ, එය පරිමිත විශ්වයක පැවතීමයි. මෙම පරිමිත විශ්වය තුළ දී එය බාහිරින් දූෂ්‍ය කරන බාහිර සාධකය අපට සොයා ගත හැකි ය. එය, ‘Titanic’ වැනි ජනප්‍රිය චිත්‍රපටයක දී අයිස් පරයක් වන අතර රෝමියෝ සහ ජුලියට් නාටකයේ දී එය බාහිර සමාජ සම්මතය වෙයි. එය, ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක දී රැඩිකල්කරණය කරන ලද බාහිර දුෂ්ටයෙකු මගින් ප්‍රතිදීප්ත වෙයි.

     ධනවාදී නූතනත්වය තුළ ඉහත බාහිර බාධාව ධනවාදය විසින් වාෂ්ප කරන ලද අතර එවැනි අනුභූතික බාහිර බාධා දෘෂ්ටිවාදය නම් කලාපය දෙසට ගමන් කරයි. සරලව කිවහොත්, නූතන ප්‍රේමයට අදාළව ඇත්තේ පරාර්ථක බාධාවක් නොව ස්වාර්ථක බාධාවකි. මෙහි අදහස වන්නේ, නූතන ප්‍රේමයට අදාළ බාධාව අත්දැකීම ක්ෂේත්‍රයෙන් ආත්මීය ක්ෂේත්‍රයකට (From empirical to ontological) පොළා පැන ඇති බවයි.

     අප පළමුව ඔප්පු කළ යුත්තේ, නූතන ප්‍රේමය ඛාදනය කරන ධනවාදයේ සුවිශේෂී යාන්ත්‍රණය යි. එය, තවදුරටත් පරිකල්පනීය ධනවාදයක් හෝ වෙනස අවධාරණය කරන සංකේතීය ධනවාදයක් (Symbolic Capitalism or Semiotic Capitalism) නොවේ. අවශ්‍ය නම්, අපට මෙම තත්වය පන්ති අරගලයේ දී ප්‍රේමයේ පිහිටුම ලෙස සැලකිය හැකි ය. සමකාලීන යථාර්ථය තුළ ප්‍රේමයට සෘජුව පන්ති අරගලයේ ආකෘතීන් සම්මුඛ වී ඇත.

    නූතන විවාහය සහ ආදරය අතර දයලෙක්තික මුහුව අපි පළමුව සලකා බලමු. මෙය, සාම්ප්‍රදායික සමාජය තුළ දී හඳුනා ගන්නා ලද්දේ බාහිර බාධාවක් ලෙසිනි. එංගල්ස්ගේ සිට බොහෝ වාමාංශිකයන්ට අනුව විවාහය යනු, ප්‍රේමයේ සිරගෙයක් ය. නමුත්, නූතන ධනවාදය මෙම විරුද්ධාභාසයට විකල්පයක් සපයා ඇත.

   පැරණි සදාචාරයට අනුව අපට මෙසේ ප්‍රකාශ කළ හැකිය. ‘මම X නම් පුද්ගලයාට ආදරය කරන්නේ පහත සඳහන් හේතු නිසා ය…. නමුත්, මෙසේ කීමෙන් ආදරය පිළිබඳ කිසියම් අඩුවක් ජනිත වෙයි. නමුත්, අප මීට පරස්පරව මෙසේ කිවහොත්; ‘මම  X නම් පුද්ගලයාට ආදරය කරන්නේ ඔහු/ ඇය මට නො ගැළපෙන නිසා ය.’ මෙම වාක්‍ය මඟින් රැඩිකල් අදහසක් ජනිත කරයි. ඉන් කියැවෙන්නේ, මම ඒ තැනැත්තාට ආදරය කරන්නේ අහේතුකව ය යන්නය. එහි දී, සැබෑ ආදරයට හිමි පූර්ව-ඉරණම්කරණය හමු වෙයි. මින් අදහස් වන්නේ, මම ඔහුට ආදරය කිරීම කලින් නළලේ කොටා ඇති බවයි නැතහොත්, මම ඔහුට ආදරය කිරීම තෝරා ගැනුණේ අවිඥාණය විසිනි. ඒ අනුව, ආදරය තීරණය වන්නේ පරිකල්පනයෙන් හෝ සමාජ සම්මතයෙන් (සංකේතයෙන්) නොවේ. එවිට, මම පුද්ගලයෙකුට ආදරය කරන්නේ මගේ යහපත තකා නොවේ. සමහර විට, එය මගේ විනාශය සටහන් කරන්නක් ද විය හැකි ය. ආදරය සමාජ-විද්‍යාවෙන් පිට පනින්නේ මෙම සන්ධිස්ථානයට පසුව ය. ආදරය කරන තැනැත්තාට ආත්මීයව මෙම තත්වය හැඟීයන්නේ, අවිනිශ්චිතභාවයක් ලෙසිනි. ආදරය කරන ආත්මයේ බිඳීමක් (Split) මෙතැන දී පෙන්වා දිය හැකි ය.

    ඉහත බිඳීමෙන්, බෙදීමෙන් එනම් සවිඥාණක ආලය සහ අවිඥාණක ආලය ලෙස දෙකට බෙදී යාම තුළ ආදරය ආපතිකත්වයට පත් වන අතර එය, හෙජමොනික අරගලයකට සම්පාත වෙයි.

    ඉහත ගැටලුවට ප්‍රවේශ වීමට පෙර විසඳාගත යුතු ගැටලු දෙකක් අපට අභිමුඛ වෙයි.

 

1.දෙවියන් නොමැති සමාජයක සදාචාර පදනම කුමක්ද? එනම්, අප තවදුරටත් දෙවියන්ට හෝ කිසිදු පරමාදර්ශයකට බිය නැති නම් අපව සදාචාරවත් කරන ඒජන්තයා කවුද?

 

2. ආගම ප්‍රායෝගිකව අවසන් වී ඇති තතු යටතේ අපගේ ජීවිතයේ තේරුම කුමක් ද? නූතන ලෝකයේ මුඛ්‍ය ගැටලුව වන්නේ, එය අති විශාල පරාසයක විකල්පයන් යෝජනා කරත් ඒවා කිසිවක් ජීවිතයට තේරුමක් හදන්නේ නැත. එවිට, ප්‍රගතියකට නො පැටලී එක තැන ලගිනා ජීවිතයක ආශාවට සිදු වන්නේ කුමක් ද?

 

     නිසැක වශයෙන්ම, ඉහත තත්වාරෝපිතයන් දෙක නිසා පිරිමියාට ස්ත්‍රියගේ සමාජීයකරණය ඉවසීමට සිදු වී ඇත. අනෙක් පසින්, ආගම පරිදිම ආදරය ද සංස්කෘතිය බවට ඌනනය වන අතර එය ලෞකිකකරණය වීමක් දෘෂ්‍යමාන ය. 19 වන සියවසේ ප්‍රකාශයට පත් වූ නවකතාවල මුඛ්‍ය තේමාව වූයේ, එක අතකින් ප්‍රේමය වන විට අනිත් අතට, සමාජ ඉණිමගේ ඉහළට නැඟීම (Social Mobility) යි. ලංකාවේ ප්‍රථම යථාර්ථවාදී නවකතාව වූ ‘ගම්පෙරළිය’ තුළ පවා ගම්‍ය වන්නේ, යථාර්ථයට වඩා උන්නතිකාමය යි.

    පශ්චාත්-නූතනත්වය තුළ විවාහයට සහ ආදරයට අදාළව ගත් විට දී, කිසියම් මූලික ඛණ්ඩනයක් සිදු වී ඇත. එනම්, විවාහ වෙළෙඳපොළ නිර්බාධීකරණයට ලක් වීමයි. ධනවාදී ආර්ථික මොඩලය ස්වාධීනත්වය, ස්වාත්මය, විවාහය, ආදරය වැනි හැඟීම් වලට අදාළ ක්ෂේත්‍රයන්ට ද විසරණය වී ඇත. නූතන විවාහය යනු, සබුද්ධික උපායික මෙහෙයුමකි.

     ආදරය සමඟ ප්‍රාග්ධනයේ සිදුවී ඇති මෙම දෙමුහුම්කරණය නිසා ආදරයේ පූර්ව-ඉරණම්කරණය සමඟ ප්‍රාග්ධනය විසින් බිහි කරන පූර්ව-ඉරණම්කරණය මුහුම් වී ඇත.

   ඉහත ඓතිහාසික ඛණ්ඩනයට පසුව ආදරය පූර්ව-ඉරණම්කරණයට ලක් වීම මෙලෙස වටහා ගත හැකි ය. 

    අද දවසේ දී නැතහොත්, 21 වන සියවසේ ආරම්භයත් සමඟ සමාජ-ආර්ථික හඳහන බැලීමෙන් තොරව රොමෑන්තික ආලයක් පවා ආරම්භ කළ නො හැකි ය. උදාහරණයක් ලෙස, නූතන සමාජයේ ජනප්‍රිය ප්‍රපංචයක් වන වෘත්තිකයන් අතර සිදුවන ප්‍රේම සබඳතාවල පූර්ව-ඉරණම්කරණය ප්‍රාග්ධන කේන්ද්‍රීය වෙයි. වෛද්‍යවරයෙකු විසින් තවත් වෛද්‍යවරියක් විවාහ කර ගන්නේ, ආරම්භයක් ලෙස පහසු නිශ්චිත අනාගතයක් වෙනුවෙනි. ප්‍රේමය යනු, මේ විවාහ-ක්‍රමය තුළ අහඹු සිදුවීමකි. එය, සිදුවීම ආපතික ය. එය, වීමට හෝ නො වීමට හැකිය. එසේ වුවත්, සුරක්ෂිත විවාහයක් තුළ තමන් පවතින නිසා ප්‍රේමය තම සහකරුගෙන් නො ලැබෙන්නේ නම් එය දාරක ප්‍රේමය බවට පරිවර්තනය කළ හැකි ය. මන්දයත්, ‘සිංහබාහු’ නාට්‍යයේ එන ආප්තයක් වන දරුවන් කෙරෙහි වන ආලය හට ගන්නේ ඇට මිදුළු තුළ නිසා එය ”ඕරස ප්‍රේමය” යි. සමකාලීන පශ්චාත්-නූතන විවාහ තුළ රොමෑන්තික ආලය නොමැති අතර ඇත්තේ, ආදේශක ඕරස ප්‍රේමය යි.

   එබැවින්, නූතන සමකාලීනත්වය ආදරයට හතුරුමුත් එය මිනිස් වර්ගයාට අවිඥාණක ය. ආදරය කරා නැවත ළඟා වීමට ඇති විකල්ප පථය නිර්මාණය වී ඇත්තේ, විද්‍යාව හා තාක්ෂණය හරහා ය.

    අපි ඊළඟ කොටසින් ‘මිදුණු විශ්වය’ සිනමා කෘතියට ඇතුල් වෙමු. 

Deepthi Kumara Gunarathne

 

             




ඔබේ අදහස කියන්න...