කාලයෙන් කාලයට ජනතා මතය උරගා බැලීම පිණිස පවතින ප්‍රශස්තම ක්‍රියාවලිය වන්නේ, මැතිවරණයි. මැතිවරණ විවිධාකාර වන අතර, ඒවා හරහා බලාපොරොත්තු වන ප්‍රතිඵල ද විවිධය. වඩාත් වැදගත්ම කාරණය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට මැතිවරණ අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මැතිවරණ විසින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය සනිටුහන් කරන ලද අවස්ථා ද ඉතිහාසයේ සුලභය. කෙසේ වුව ද, මැතිවරණයක ප්‍රතිඵලය හරහා ප්‍රජාතන්ත්‍රවාදය පිරිහී, ආඥාදායකත්වය ජය ගැනීම කිසි ලෙසකින් හෝ ජනතාවාදී නොවන අතර, රාජ්‍යයක් අභ්‍යන්තරික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මහත් පසුබෑමට ලක් කරන්නකි.

වර්තමාන ශ්‍රී ලංකාවේ වඩාත් උණුසුම් මැතිවරණය ලෙස කරළියට පැමිණ ඇත්තේ, එළඹෙන නොවැම්බර් 16 වෙනිදාට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. මෙහි පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා විශේෂතා දැකගත හැකිය. ප්‍රධානතම කාරණය වන්නේ, පෙර නොවූ විරූ ආකාරයේ විශාල අපේක්ෂක පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටීමයි. මෙය දේශපාලන මතවාදයන්හි විශාල බෙදීමක් ලෙස කෙනෙකුට පෙන්වා දිය හැකි වුවත්, තවත් අයෙකුට පෙන්වා දිය හැක්කේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ නෛසර්ගික ලක්ෂණයක් ලෙසයි. මේ දෙකටම පටහැනිව දේශපාලන මතවාදවලින් බැහැරව පුද්ගල ප්‍රතිරූප පිම්බීම පිණිස, එක් එක් පුද්ගල චරිත ඔසවා තැබීම ද දැකිය හැකිය.

මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තුළ ප්‍රධාන දේශපාලන ධාරා කීපයක් හඳුනා ගත හැකිය. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වය දරන ආඥාදායක කඳවුර සහ සිවිල් සංවිධාන හා විවිධ සුළුජාතික කණ්ඩායම්වල සහයෝගය ලබන සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරයි. මෙම ප්‍රධාන කඳවුරු දෙකට අමතරව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික බලවේගවල එකතුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය ද, කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නියෝජිතයෙක් කෙරෙහි විශ්වාසයක් නොමැතිව තනිව රාජ්‍ය පාලනය කිරීමට සැරසෙන තවත් අපේක්ෂක පිරිසක් ද ඇත. මෙම දේශපාලන ප්‍රවණතා කෙරෙහි විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින් බලා, කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව අවධානය යොමු කරන නව සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් වන “පුරවැසි හඬ”, සිය මාධ්‍ය නිවේදනය තුළින් වැදගත් සත්‍යයන් ගණනාවක් ඉස්මතු කරයි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනි.

“පුරවැසි හඬ”

“පුරවැසි හඬ” නියෝජනය කරනුයේ, මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බව තරයේ විශ්වාස කරමින් ආඥාදායකත්වය ප්‍රතික්ෂේප කරන සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ බොහෝ ක්ෂේත්‍රවලට අයත් සමාජ මත ගොඩනගන්නන් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විතය. 2019 ඔක්තෝබර් 16 වෙනිදා, “පුරවැසි හඬ” විසින් නිකුත් කරන ලද ප්‍රථම මාධ්‍ය නිවේදනය තුළින් ඉස්මතු කළ ප්‍රධානතම කාරණය වූයේ, මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර, දක්ෂිණාංශික සහ වාමාංශික යනුවෙන් නැවත නොබෙදිය යුතු බවයි; වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ වඩාත් ප්‍රබල බෙදුම් රේඛාව පවතින්නේ ජාතිවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර මිස, දකුණ සහ වම යනුවෙන් නොවන බවයි. දක්ෂිණාංශික සහ වාමාංශික යන දෙපිරිසම අඩු වැඩි වශයෙන් ජාතිවාදී කතිකාවේ ගොදුරු බවට පත්වී තිබෙන බව “පුරවැසි හඬ” අවධාරණය කරයි.

ආඥාදායකත්වය පරාජය කිරීම හැර වෙනත් විකල්ප නැත

ජනවර්ග අතර අසමගිය, අවිශ්වාසය ගොඩනගමින් සමාජ මනෝභාවය භීතියට සහ වියවුලට පත්කර, ආඥාදායක පාලනය තහවුරු කර ගැනීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පරාජය කිරීම මිස, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට වෙනත් විකල්ප තිබිය නොහැකි බවට “පුරවැසි හඬ” තර්ක කරයි. මෙම තර්කයට තිබෙන ශක්තිමත් පදනම වන්නේ, ආඥාදායක කඳවුර ජයග්‍රහණය කළහොත් දක්ෂිණාංශික හෝ වාමාංශික ලෙස වෙන් කිරීමකින් තොරව, සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දැඩි මර්දනයකට යටත් කිරීමට නියමිත බැවිනි. එවිට ඔවුන්ගේ දක්ෂිණාංශික හෝ වාමාංශිකභාවයෙන් කිසිදු ඵලක් නැත.

“පුරවැසි හඬ” ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති විකල්ප අපේක්ෂකයන්ට දන්වන්නේ සිය පුද්ගල ප්‍රතිරූප හෝ දේශපාලන පක්ෂවල ශක්තිය උරගා බැලීමට මේ අවස්ථාව යොදා නොගත යුතු බවයි. පළමුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඉන් අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන බලවේගවලට තම බලය උරගා බැලීමට යොදාගත හැකිය. මේ මොහොතේ බෙදී සටන් කිරීමෙන් අහිමි වී යා හැකි කාරණා දෙකකි:

පළමුවැන්න නම්, ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට කිසිදු හැකියාවක් නොමැති නමුත් මැතිවරණයට ඉදිරිපත් වී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඡන්ද පදනම බෙදා වෙන් කිරීම හරහා ගෝඨාභයගේ ආඥාදායකත්වය ජයග්‍රහණය කළ පසු, විකල්ප බලවේගවලට මහත් මර්දනයකට යටත් වීමට සිදු වනු ඇත, යන්නයි.

දෙවැන්න නම්, ආඥාදායක පාලනයක් යටතේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් කිසිදු සාධනීය අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම්වලට හිමි නොවනු ඇත, යන්නයි.

“පුරවැසි හඬ” දිගින් දිගටම අවධාරණය කරනුයේ, යහපාලනය තුළින් දිනාගත් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය කිසි ලෙසකින් ආපස්සට හැරවීමට විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් මේ අවස්ථාවේ සහාය නොදිය යුතු බවයි. ඔවුන්ට අනුව, මානව අයිතිවාසිකම්වලට ගරු කරන, දේශපාලන බලය අවභාවිත නොකරන, ව්‍යවස්ථානුකූල පාලනයට, නීතියේ ආධිපත්‍යයට ගරු කරන, නිදහස රකින සහ සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට එකසේ සැලකිය හැකි පාලකයකු මිස, ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය සහ මිලිටරිකරණය පෝෂණය කරන පුරුෂෝත්තමවාදී රාජ්‍ය පාලකයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත.

“පුරවැසි හඬ” මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් අතරින් ගෝඨාභය නියෝජනය කරනුයේ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය බවයි. “සමූල ඝාතන, කෲර වධහිංසා, අවමන්සහගත සැලකීම්, අතුරුදහන් කිරීම්, වැනි දේශපාලන බලය අවභාවිත කිරීම පිළිබඳ ඉතිහාසයක් ඔහුට ඇත,” යනුවෙනි.

ආඥාදායක රාජපක්ෂ කඳවුරේ අනතුර

2019 ඔක්තෝබර් 19 වෙනිදා නිකුත් කරන ලද සිය දෙවැනි මාධ්‍ය නිවේදනය මගින් “පුරවැසි හඬ” ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පිරිසක් ලෙස විශාල අවධානයක් දිනාගෙන ඇති ජාතික ජන බලවේගය ප්‍රමුඛ වාමාංශික කඳවුරෙන් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ කඳවුරේ ආඥාදායකත්වයට සහ මර්දනයට එරෙහිව සජිත් ප්‍රේමදාසගේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට සහය ලබාදෙන ලෙසයි. ඊට හේතුව, ආඥාදායක රාජපක්ෂ කඳවුර ජය ගතහොත් අනාගතයේදී ප්‍රධාන වශයෙන්ම අනතුරට ලක්විය හැක්කේ, වම නියෝජනය කරන, යහපාලනයට ලැදි බලවේගය වන බැවිනි.

ආඥාදායක රාජපක්ෂ කඳවුර නැවත බලයට පත් වුවහොත්, මෙරට පවුල් පාලනය නැවතත් රජ කරන යුගයක් බිහිවනු ඇත. ඒ තුළ රාජ්‍යයේ සමස්ත දේශපාලන හා ආර්ථික බලය පාලනය කිරීම මගින් දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කරගෙන සමස්ත ජාතික ධනය කොල්ලකන යුගයක් නැවත නිර්මාණය වනු ඇත; සියලු යහපාලන දේශපාලන ප්‍රතිසංස්කරණ ආපසු හරවා 18වන සංශෝධනයටත් එහා යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාවක් බලාත්මක කරනු නියතය; නීතියේ ආධිපත්‍යය වෙනුවට අවනීතිය සහ ආඥාදායකත්වය රජ කරනු ඇත; සමස්ත ශිෂ්‍ය, කම්කරු හා ප්‍රගතිශීලී බලවේග දැඩි මර්දනයට ලක් කරනු ඇත; වාමාංශික පක්ෂ සියල්ල තහනමට ලක් කරනු ඇත; විශ්වවිද්‍යාල තුළ පවතින නිදහස හා ශාස්ත්‍රීය සංවාද මර්දනය කරනු ඇත; මාධ්‍ය ආයතන සියල්ල ආණ්ඩුවේ මතවාදයට යටත්කොට, ජනමාධ්‍යවේදීන් වහලුන් බවට පත් කරනු ඇත; සියලු බුද්ධිමතුන්, නිදහස් මතධාරීන් මර්දනය කරනු ඇති අතර, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සියල්ලක්ම දැඩි සෝදිසි කිරීමකට යටත් කොට පුද්ගල නිදහස අහිමි කරනු ඇත; සියලු වෘත්තීය සටන් තහනම් කරනු ඇත; ප්‍රචණ්ඩත්වයෙන් දියත් කෙරෙන සංවර්ධනය හරහා පරිසරය විනාශ කිරීම, පෞද්ගලීකරණය, රාජ්‍ය සම්පත් විදේශවලට විකිණීම ඉහළ යනු ඇත; සිවිල් පාලනය අහෝසිකර රාජ්‍ය යාන්ත්‍රණය හමුදාකරණයට යටත් කරනු ඇත; ආගමික උන්මත්තකභාවය සහ ජාතිවාදය තුළින් සියලු සුළු ජාතීන් මර්දනය කර, සමස්ත ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නැවතත් අපකීර්තියට පත්කරනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්වීමේ අවශ්‍යතාවය

මෙම භයානක තත්ත්වය වළක්වාලීමට නම් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි හා ඒකාධිපතිවාදයට එරෙහි සියලු බලවේග එකට එකතු වී පළමුව රාජපක්ෂ කඳවුර පරාජය කිරීමයි. ජාතික ජන බලවේගය ඇතුළු අනෙකුත් විකල්ප කණ්ඩායම්වලට මහ මැතිවරණය තුළින් වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගත හැකි වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජයග්‍රහණයට කැප වුවහොත් පමණක් බව “පුරවැසි හඬ” නැවත නැවතත් අවධාරණය කරයි. එබැවින් ඉතා ප්‍රගතිශීලී ජාතික ජන බලවේගයත්, අනෙකුත් විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී බලවේගත් මෙවර ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට උරදී ආඥාදායක බලය පරදවන්නේ නම්, ඒ හරහා ජාතික ජන බලවේගයත් අන් විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලටත් දිගුකාලීනව විශාල ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි “පුරවැසි හඬ” තරයේ විශ්වාස කරයි.

මෙය, ආඥාදායකත්වය පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ ව්‍යායාමයක් වන අතර, ජාතික ජන බලවේගය සහ අනෙකුත් විකල්ප කණ්ඩායම් සාවධානව මෙම ව්‍යායාමයට සහය වනු ඇතැයි “පුරවැසි හඬ” දැඩිව අපේක්ෂා කරයි. නැතහොත් සිදුවීමට නියමිතව ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කිරීමට දායක වීමයි. එය ඓතිහාසික වශයෙන් කිසිදා නිවැරදි කළ නොහැකි බරපතළ වරදක් වනු ඇත.  

ආචාර්ය ඉන්දි අකුරුගොඩ – රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය.

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[

මේ පිලිබදව සංවාදයක් කරමු.

On Pure Democracy we have to remind about enjoyment factor of democracy. Hope to discuss about it soon.[To consider the individual as separate from her social reality.]

 

ඔබේ අදහස කියන්න...