ඉන්දියාවේ රුපියලේ අගය කඩා වැටෙමින්, එය ශ්‍රී ලංකාවේ රුපියලද බාල්දු කරමින් යනවිට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අපූරු මනෝවිශ්ලේෂණ අදහසක් පළ කළේය. අපට බය වෙන්න දෙයක් නැහැ. ඉන්දියාවේ මහබැංකු අධිපති රසුරාම් රාජන් ඇතුළුව ඉන්දියාවේ ආර්ථිකය මෙහෙය වන්නේ ඉතාම දක්ෂ ආර්ථික විද්‍යාඥයින් පිරිසක්. ඔවුන් මේ අර්බුදයෙන් කොහොම හරි ගොඩ ඒවි. එතකොට අපි නිකංම ගොඩ යාවි.

පුරාණ කාලයේ මීගමුව ප්‍රදේශයේ යම් කොනෙකු මියගිය විට ඒ කෙනාගේ ඥාතීන් වෙනුවෙන් හඩා වැටීමට කුළියට මිනිසුන් හයර් කළ හැකි විය. එවිට ඔවුන් අවමගුල් දිනයේ දී අප වෙනුවෙන් හඩා වැටෙයි. අපට තියෙන්නේ වෙනත් වැඩක නියැලීමටය. ඇමෙරිකාවේ සමහර සිනහ යන රූපවාහීනී ටෙලි නාටක වලට එය නරඹන ප්‍රේක්ෂකයන් සිනහ විය යුතු නැත. එම සිනහව අප වෙනුවෙන් පටිගත කොට ඇත. එවිට අප වෙනුවෙන් සිනහ වන අයද සිටිති. අපට තියෙන්නෙ නිසොල්මන්ව නිකං ඉන්නටය.

රසුරාම් රාජන් IMF ආයතනයේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙකි. ඉන්දියානු අගමැති මන්හොහන් සිං මහතාද IMF හි සේවය කළ ආර්ථික විද්‍යාඥයෙකි. P.B  ජයසුන්දර මහතාද IMF සහ ලෝක බැංකු‍ හිටපු උපදේශකවරයෙකි. අප කළ යුත්තේ කුමක්ද? අප වෙනුවෙන් ඔවුන් සියළුදෙනා ආර්ථිකය ගොඩ ගනීවි. අපිට තියෙන්නේ කසුන් කල්හාර ගේ සංගීත ප්‍රසංගය බලන්න හවසට යන එක.

ඔබේ අදහස කියන්න...