රැඩිකල් වාමාංශික තරුණියක් වීමේ ආශාවෙන් පෙළෙන්නියක වූ රතීගේ අනුවේදනීය ජීවන වෘතාන්තය පාදක කරගනිමින් නිර්මාණය කල මෑතකදී වේදිකාගත වූ නාට්‍ය “ඇගේ නම රතී” ය. මෙම වේදිකා නාට්‍යයේ නිර්මාණකරුවන් කිහිපයක් වෙති. අයිතිකරුවන් නැති මායාවන් (Illusions without owners), අනෙකා වෙනුවෙන් විශ්වාසයන් නියෝජනය කිරීම ( delegating believes for others) සහ අන්තර්අක්‍රියතාවය (Inter-passivity)  යන සමකාලීන ‘දෘෂ්ටිවාදය  විචාරය කිරීමේ සංකල්ප’ උපකරණ කරගනිමින් ඉහත නිර්මාණය විශ්ලේෂණය කිරීම සදහා අද අප උත්සහ කරමු.

වාමාංශිකයන් බහුතරයක් සේවය කරන කාර්යාලයක එක්තරා රැකියා අවස්ථාවක් උදා කරගන්නා  රතී රැකියාවට යන්නේ මහත් වූ ප්‍රීතියෙනි. මේ ඇය බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි රැකියාවකි. රැඩිකල් වාමාංශික කාන්තාවක් වීමට සිහින දකින ඇයට වාමාංශික පිළිවෙත කුමක්ද යන්න කියා දීම සදහා විශාල සහෝදර වාමාංශිකයන් පිරිසක් කාර්යාලයේදී හමුවෙයි. ඔවුන් ඇයට මෙසේ උපදෙස් දෙයි. ‘විප්ලවවාදී වමේ සහෝදරියක් කියන්නේ අනෙක් ගැහැණු වගේ පිරිමින්ගේ වහල්ලු නෙමෙයි. සිගරට් එකක් බොන්න ඕනේ, ඉදල හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ඕනේ, ගෙදර යනකොට පුළුවන් තරම් රෑ වෙලා ගෙදර යන්න ඕනේ, ඒ විතරක් නෙමෙයි දෙමළ කොල්ලෙක් බැන්දොත් සෑහෙන්න විප්ලවාදී වෙන්න පුළුවන්…….’. මෙසේ ඔවුන් ලබා දෙන උපදෙස්  උපදෙස් අසා සිට ඒවා අකුරටම පිළිපදින ඇයට විවාහ වීම සදහා දෙමළ තරුණයක් මුණගැසෙන්නේ නැත.

මේ අතර ඇයට රැකියාවෙන් පළමු වැටුප ලැබෙයි. එය තරමක් විශාල වැටුපකි. තමා සම්බන්ධ දේශපාලන සංවිධානයට අධාරයක් ලබා දීමෙන් පසු ඉතුරු මුදල් වියදම් කර ඇය විසින්   Kelly Felder සහ G Flock යන සාප්පු වලින් ගවුම් මිලදී ගනී. ඉන්පසු මෙම  ගවුම් ඇද විවාහ උත්සව සහ ප්‍රිය සාදා වලට සහභාගී වීම ඇගේ ජීවිතයේ එක් අංගයක් බවට පත් වේ. කෙසේවෙතත් ඇගේ මෙම ආශාව පිලිබදව ඇය  සම්බන්ධ දේශපාලන සංවිධානය දැනගන්නේ නැත. රතීගේ ජීවිතය කණපිට හරවන සිදුවීම සිදුවන්නේ මේ අතරය. හදිසියේ අසනීප වන රතී ජාතික රෝහලට ඇතුලත් කරයි. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රතී ට උපස්ථාන කරන්නේ දෙමළ තරුණයෙකි.  තමාට ඇප උපස්ථාන කරන තරුණයාගේ කරුණාවන්ත බව පිළිබද පැහැදෙන රතී ඔහුට ආදරය කිරීමට පටන් ගනී. රෝහලේදී ගොඩනැගෙන මෙම ප්‍රේම සම්බන්ධය මාසයක් වැනි කෙටි කාලයකදී විවාහයක් බවට පරිවර්තනය වෙයි. තමා පුන පුනා බලා සිටි දෙමළ ආදරවන්තයා පිළිබද විවාහයට පෙර කිසිදු සෙවිල්ලක් කිරීමට රතී කැමති වන්නේ නැත.  ඇය කෙතරම් විප්ලවවාදී තරුණියක්ද! කෙසේනමුත් මෙම විප්ලවාදී තරුණියගේ විවාහයට ඇගේ දෙමාපියන් කැමති වන්නේ නැත. මේ නිසා විවාහ වී මාසයක් යාමටත් මත්තෙන් ඇය නිවසින් පන්නා දැමෙයි. කරදර පැමිණෙන විට එන්නේ එක පිට එකය. මේ උදෘතය සනාථ කරමින් ඇයට ජීවිතයේ තවත් වැදගත් දෙයක් අහිමි වෙයි. ඒ ඇගේ රැකියාවයි.තම සැමියාට ලැබෙන අදායම ඔහුට ජීවත් වීමට පවා  ප්‍රමාණවත් නොවෙයි. මේ නිසා රතී මහ මගට ඇද වැටෙයි. ඇය දැන්  ‘වාමාංශික පටාචාරාවකි’.

නාට්‍යයේ මීලග දර්ශන වලින් පෙන්වන්නේ රතීට උපදෙස් දුන් සහෝදරයන් ඇය දෙස බලා සිනහ වෙන ආකාරයයි. මෙම සහෝදරයන්ගේ ජීවිත රතීගේ ආගමනයත් සමග පැහැදිලි වෙනසකට ලක් වී ඇත. ඔවුන් ඉතා ප්‍රීතියෙන් තම තමන්ගේ ජීවිත ගෙවා දමයි. ඔවුන්ගේ ජීවිත මනා සංගතභාවයකින් යුක්තය. නාට්‍යයේ අවසාන ජවනිකාව ඉතා සංවේදීය. රතී මෙසේ දොස් නගයි. මම රගපාපු මායාවන් වලට අයිතිකාරයෝ නැහැ. වාමාංශිකයෝ නැහැ, සංවිධාන නැහැ, පක්ෂ නැහැ. මට අලුත් ජීවිතයක් පටන් ගන්න විධිහක් නැහැ. මාව ගලවා ගන්න කවුරුත් නැද්ද?

දැන් අප නාට්‍යය විසින්  ලබා දෙන දේශපාලන පණිවුඩය කුමක්ද යන්න වටහා ගැනීමට උත්සහ කරමු. රතී වැනි තරුණියන් යනු පවතින ක්‍රමයේ ගොදුරු ලෙස හදුනාගැනීම සම්ප්‍රදායික විශ්ලේෂණයයි. නමුත් එවැනි සංකල්පගත කිරීමක් තවදුරටත් වලංගු නොවේ. අපගේ නව න්‍යායගත කිරීමට අනුව  රතී යනු පවතින සමාජ ක්‍රමය පිළිබද අපට උගන්වන ඒජන්තයෙකු වේ. අපට ක්‍රමය වටහා ගත හැකි වන්නේ ඇය වැනි දහස් ගණනක් බිලි දීමෙන් පමණි. තවත් පුද්ගලයෙකුට ක්‍රමය යනු කුමක්ද යන්න ඉගැන්විය හැකි වන්නේ රතී වැනි උදාහරණ ඕනෑ තරම් අපට හමුවන නිසාවෙනි. මීළග ගැටලුව වන්නේ රතී වැනි තමන්ගේ ජීවිතය අවසන් කරගත් අයෙකු ගළවා ගන්නේ කෙසේද යන්නයි. කිසිවෙකුටත්  ඇය ගළවා ගැනීමට නොහැකිය. ඇයව ගළවා ගැනීමට වෙහෙසීම යනු කාලය නාස්ති කර ගැනීමකි.

රතීගේ කතාව සත්‍ය සිදුවීමක් යැයි උපකල්පනය කළහොත් ඇගේ සම්පුර්ණ ජීවිතයම මායාවක් (Illusion) බව අපට පැහැදිලි වෙයි. මුලින්ම ඇය විසින් තමාගේ ජීවිතය  අයිතිකරුවන් නැති මායාවක් බවට පරිවර්තනය කර ගනී.  අනෙකාගේ දැක්ම වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගනී. කාර්යාලයේ සහෝදර සේවකයන් හරහා  නියෝජනය වන දැක්ම (Gaze)   රතීගේ අවිඥානය බවට පත් වේ. මෙම අවිඥානය විසින් ඇයට ඇය පිළිබද විවිධ ෆැන්ටසි නිර්මාණය කරයි. තමා වටා සිටින දහසකුත් ඇස් තුලින් ඇය තමාවම නරබයි. ඇයට සිතෙන්නේ තමා දෙසට එල්ල වන මෙම ඇස් යනු තමා විප්ලවාදිනියක යැයි සිතන අනෙකාගේ බවයි. එහෙත් එම ස්ථානයේ කිසිදු පුද්ගලයෙකු  නැත. එතැන පැවතුනේ මායාවකි.

මීලග න්‍යායික සංකල්පය භාවිතා කිරීමට මත්තෙන් අප විනෝදය යනු කුමක්ද යන්න නැවත සිහිපත්කර ගමු. විනෝදය යන වචනයේ ප්‍රභවය වන්නේ ප්‍රංශ භාෂාවේ jouissance යන පදයයි. මනෝවිශ්ලේෂණ විෂයට අනුව එහි ඉංග්‍රීසි තේරුම Pleasure in pain යන්නයි. එහි සිංහල අරුත වන්නේ වේදනාවෙන් සතුටු වීමයි. ඒ අනුව විනෝදය යනු එහි මතුපිට අරුත වන සතුටේ ප්‍රතිවිරුද්ධ අර්ථයයි. එනම් වේදනාවේ උපරිමයි. බොහෝ දෙනෙකු විනෝදය යන සංකල්පය ග්‍රහණය කරගනු ලබන්නේ එමගින් සතුට හෝ ප්‍රීතිය ගම්‍ය වේ යන අවබෝධයෙනි. නමුත්  ඉන් අදහස් වන්නේ සතුට හෝ ප්‍රීතියේ  දයලෙක්තික අදහසයි.

විනෝදය ඍජු ලෙස ළගා වීම ආත්මයට දරාගත නොහැකි අත්දැකීමකි. ඒ වෙනුවට සමකාලීන ආත්මය විනෝද වන්නේ අනෙකා තමන්ගේ විනෝදයේ නියෝජිතයෙකු බවට පත්කර ගැනීම මගිනි. මත්පැන් වලට ඇබ්බැහි වී සිට එයින් අත්මිදුනු අයෙකු මත්පැන් පානය කරන තම මිතුරන්ගේ වීදුරු පිරවීම හරහා විනෝද වෙයි. පොත් කියවීමට අකමැති බුද්ධිමතුන් පොත් photocopy  ගසා එකතු කරයි. එමගින් කියවීම සදහා මහන්සි නොවී පොත් කියවන බුද්ධිමතෙකු බවට පත් වීමට ඔවුන්ට හැකි වේ. මෙහි ඇති වේදනාව යනු තමාට ඇතිවන වරදකරීත්වයයි. තමන් පොත් නොකියවන බව මෙම බුද්ධිමතුන්ට නිතර සිහිපත් වෙයි. මේ වේදනාව ඔවුන්ට විනෝදය ගෙනදෙන්නකි . තමන් වාමාංශික නොවී රතී රැඩිකල් වාමාංශිකයෙකු බවට පත් කිරීම හරහා රතීගේ කාර්යාලයේ මිතුරන් විනෝද වෙයි. තමන් විප්ලවවාදී තරුණියක බව කාර්යාලයේ මිතුරන් විශ්වාස කරනු ඇතැයි සිතා රතී විනෝද වෙයි. නමුත් මේ සියල්ල තම තමන්ගේ උපකල්පනයන් මිසක සැබෑ ලෙස පවතින විනෝදයේ නියෝජිතයෙකු නොමැත.

අන්තර්අක්‍රියතාවය (Interpassivity) යනු ආත්මය තුල පවතින ඉහත නොහැකියාවයි. තමන් ක්‍රියාවකට සහභාගී නොවන අතර අනෙකා ක්‍රියාකාරී යැයි උපකල්පනය කරමින් තමන් අක්‍රියව සිට වක්‍රාකාරයෙන් විනෝද වීම එමගින් මුලික වශයෙන් අදහස් වේ.සයිටම් අරගලයේදී මැද පාන්තිකයන් ඊට ලබාදෙන සහයෝගය යනු අන්තර්අක්‍රීයතාවය මනාවට පෙන්නුම් කරන උදාහරණයකි. ලංකාවේ ඊනියා මැද පාන්තිකයන් වාමාංශික දේශපාලනයට හෝ ඔවුන්ගේ වත්පිළිවෙත් වන උද්ගෝෂණ, පෙළපාලි, රැස්වීම් සදහා ඍජු ලෙස සහභාගී වීමට කැමැත්තක් නොදක්වයි. නමුත් ඔවුන් සයිටම් වැනි අරගලයකදී තමාටත් ඉන් වාසියක් ලැබෙන නිසා නරුමවාදී ලෙස ඊට සහයෝගය දක්වනු ලැබීය. කෙසේවෙතත්  ඔවුන් ඊට ඍජු ලෙස දායක නොවින. අන්තර්අක්‍රියතාවය නම් ඉතා වැදගත් දේශපාලන න්‍යාය නොදත් අරගලකරුවන් මෙම මැද පාන්තිකයාගේ විනෝදය රග දක්වන පිරිසක් බවට පත් විය.  අරගලකරුවන් සිතුවේ මෙවැනි කොටස් තමන් සමග අවස්ථාවාදීව හෝ එකතු වීම පොදු අරගලයක් සදහා හොද ප්‍රවනාතාවයක් බවය. සමාජයට එසේ කීවද තමන් අරගලකරුවන් යැයි හදුන්වාගන්නා එවැනි පුද්ගලයන් පවා ඊට දායක වන්නේ අන්තර්අක්‍රියතාවයකිනි. ඔවුන්ට අනුව සැබෑ අරගලකරුවා තමා නොව තම පක්ෂයේ නායකයාය. නැතිනම් මාක්ස් හෝ ග්‍රාම්ස්චී ය.

මුලින් සදහන් කල න්‍යායික සංකල්ප රතී වැනි චරිත විශ්ලේෂණය සදහා පමණක් නොව අපගේ දේශපාලන ගමනේදී  මගහැරිය නොහැකි වූ  වැරදීම් සිදුවුයේ  මන්ද යන්න විශ්ලේෂණය සදහාද පසුආවර්තිතාව යොදා ගැනීමට අපට හැකිය. එමගින් නැවතත් එවැනි සිදුවීම් පුනරාවර්තනය වීම වළක්වාගත හැක. දේශපාලන පක්ෂය යනු බාහිර සමාජ යතාර්ථය තුල ඇති පසමිතුරුතාවයන් නැති සුසංවාදී, ආදරණීය සහෝදර සහෝදරියන් පිරිසක් සිටින කාන්තාරයක ඇති ක්ෂේම භූමියක් වැනි තැනක්  යැයි උපකල්පනය කිරීම පක්ෂ දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනා වරද්දා ගන්නා තැනකි. පවතින සමාජය තුල ඇති පසමිතුරුතාවයන් අතර ගැටුම   උච්චමතම  අවස්ථාවට පත්වන්නේ පක්ෂ ව්‍යුහය තුලය. දේශපාලන පක්ෂයක් තුල තමාගේ අරගල භූමිකාව ගොඩනගා ගැනීම ඉතා අසීරු කාර්යකි. ඒ සදහා දැඩි ශික්ෂණයක් සහිතව විශාල කැපකිරීමක් කල යුතුය.  

දේශපාලන වේදිකාව මත අරගල කිරීමේ පසුබිමක් නොමැති අද වැනි යුගයක අපට තෝරා ගැනීමට ඇත්තේ පසුබැසීමයි. එහෙත් පසුබැසීම යනු අරගලය අතහැර දැමීම නොවේ. පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා විප්ලව කිරීමට ගොස් හෙම්බත් වන බොහෝ දෙනා පසුබැසීමට තීරණය කලද ටික කලකට පසුව ඔවුන්  පවතින ක්‍රමයට ඉතා හොදින් ඇබය ගසා ගනී. අප පසුබැසීම යනුවෙන් හදුන්වන්නේ එය නොවේ.  අද අපට අවශ්‍ය වන්නේ ක්‍රමය  වෙනස් කිරීම නොව ක්‍රමය අර්ථකථනය කිරීමයි. ලෝකය පිළිබද පැරණි අර්ථකතනයන් තවදුරටත් වලංගු නොවන අවස්ථාවක අප නව අර්ථකථනයක් ගවේෂණය කිරීම සදහා අධ්‍යනනය (කියවීම) වෙත අවතීර්ණ වූයෙමු. විවිධ මාධ්‍යන් ඔස්සේ අප විසින් සමාජ ගත කරන්නේ මෙම නව අර්ථකථනයන්ය. බොහෝ වාමාංශිකයන් අප වෙත එල්ල කරන විවේචනය වන්නේ අප කිසිවක් වෙනස් නොකර න්‍යාය ගැන පමණක් කතා කරන බවයි. කලින් සාකච්ජා කල උදාහරණයට ආදේශ කළහොත් රතී වැනි තරුණියන් බේරා ගැනීමට අප ඉදිරිපත් නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය ඔවුන් අපෙන් අසයි. මේ ප්‍රශ්නයට ඇති පිළිතුර වන්නේ  එවැනි දේ කිරීම සදහා කාලයක් අපට නැති බවයි. කෙසේවෙතත් එකී වාමාංශිකයන්ගේ හදුනාගැනීමේ වරදක් නැත. අප මේ මොහොතේ කතා කරන්නේ දේශපාලන න්‍යාය ගැන පමණි. න්‍යාය සහ ප්‍රයෝගිකත්වය යනුවෙන් දෙකක් පවතී යන බොළද අදහස ඔවුන්ගේය. එවැනි විභේදනයක් ඉංජිනේරු විද්‍යාව වැනි විෂයක්  තුල හමුවිය හැක. එහෙත් දේශපාලනය යනු හාත්පසින්ම වෙනස් එකී සෑම දෙයකම ගතිකත්වය තීරණය කරනු ලබන සාර්වත්‍රිකය වේ. මේ මොහොතේ වඩා වැදගත්ම දේශපාලනික ක්‍රියාව න්‍යාය ගොඩනැගීම නම් එය අපගේ දේශපාලන ක්‍රියාවලිය බවට පත්වේ. කියවීමට කම්මැලි නම්, ඉංග්‍රීසි බැරි නම් පැත්තකට වී තමන්ගේ වැඩක් බලා ගැනීම තමන්ට පමණක් නොව සමාජයටම යහපත්ය.

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.