පුරුෂ ඇසින් නිර්මිත මායම් හැටහතර ගැන ස්ත්‍රීවාදී විවරණයක්

 

ගැහැනිය කියන්නේ ම මහා සංස්කෘතියක්. මේ සංස්කෘතිය ලෝක ව්‍යාප්තයි. ප්‍රබලයි. සෙසු සියල්ල කැරකෙන්නෙත් ‍මේ ගැහැනිය කියන උප සංස්කෘතිය වටා කියලා කියන්නත් පුළුවන්. ගැහැනියගෙන් ව්‍යුක්ත කරලා කිසිම දෙයක් දිහා බලන්න බැහැ. සමාජය කොච්චර පුරුෂ මූලිකයි කිව්වත් ඒ මූලිකත්වයේ හරය ගැහැනිය. අනික් අතට පුරුෂයා සමාජයේ මූලිකත්වය ගන්නේ මේ සා ප්‍රබල වූ ගැහැනිය යටපත් කරන්න නෙමෙයි ද?

ගැහැනිය නිර්මාණය වෙන්නෙම පුරුෂ ඇසින්. මේ පුරුෂ ඇසින් නිර්මාණය වෙන ගැහැනිය පුරුෂයාට අනුව විවිධයි. මේ තත්ත්වය ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස්. බටහිර මනෝ විශ්ලේශකයන් කිව්වා ගැහැනිය කියලා දෙයක් නැහැ. ගැහැනිය කියන්නෙම පුරුෂ සංකල්පයක් කියලා‍. ස්ත්‍රීවාදී මත දරන්නියන් මේ මතයට විරුද්ධව හඬ නැගුවා. ‘ ඇයි මේ අපි ඉන්නේ’ කිව්වා. අපි සංකල්පයක් විතරද කියලා ඇහුවා. මේ බටහිර ගැහැනිය විශ්ලේශනය කරපු අන්දම.

ආසියාවෙදි නම් ආසියානු පුරුෂයාගේ ඇසට අනුව බිහිවන්නේ වෙනස්ම ගැහැනියක්. ඒ වගේම ආසියානු මතයට දීර්ඝ අතීතයකුත් තියෙනවා. මේ මායම් කියන සංකල්පය බිහිවෙන්නෙත් ඒ අනුව.

අතීත ඉන්දියාවේ හිටිය බ්‍රාහ්මණයෝ ගැහැනිය ගැන වෙනස් ම මතයක් දැරුවා. කොටින්ම ගැහැනියට බය වුණා. අනික් අතට ඒ තරමට ම ආසා කලා. තමන්ගේ ආශාව තමන්ටම පාලනය කර ගන්න බැරි වෙන තැන දී ගැහැනුන් ගැන බියජනක ප්‍රතිරූපයන් මවා පාන්නට වුණා. ගැහැනුන් ගේ එකම අභිලාසය පිරිමින් වසඟ කර ගැනීම කියලා ඔවුන් සමාජයට කිව්වා. ඒ නිසා මේ බියජනක සත්ත්වයාගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් පුරුෂයන් මුළාවේ දමා ගන්නේ කෙසේ ද? ඒ මායම් පාවිච්චි කිරීමෙන්. ඔන්න මායම් කියන සංකල්පය සමාජයට එනවා.

මොනවද මේ මායම්. සංඛ්‍යාත්මකව කියනවා නම් මායම් හැට හතරක්. හැට හතරක් කියන්නේ සුළු සංඛ්‍යාවක් නෙමෙයි. අමතක කරන්න එපා මේ සියල්ල බිහි වෙන්නේ පුරුෂයාගේ ඇසින් කියලා. ඔබට මේ මායම් හැට හතර නොයෙක් වර මුණ ගැහිලා ඇති. ඒ නිසා ඒවා එකින් එක මෙතනදී කියන්න අවශ්‍ය නැහැ. ඒත් පුරුෂ ඇසින් නිර්මිත ස්ත්‍රිය තේරුම් ගන්න නම් මායම් ගැන යම් කියවීමක් කළ යුතුයි.

සිංහල අකරාදී පිළිවෙලට මායම් පෙළ ගැස්සුවාම පටන් ගන්නේ ‘ඇස්’ වලින්. මායම් හැට හතරෙන් පළමුවැනි මායම් අටම පෙළ ගැසෙන්නේ ගැහැනිය ගේ ඇස් වටා. ඇස් කරකැවීම, ඇස් පියවීම, ඇස් කොනෙන් බැලීම, ඇස් ලොකු කර බැලීම, ඇසක් වසා බැලීම, ඇස් මුළුමනින්ම වසා බැලීම, වරින්වර බැලීම, ඉවත බලාගෙන සිටීම. මේ විදිහට ගැහැනියගේ ඇස අතීත බ්‍රාහ්මණ සමාජයේ පුරුෂයාට විශාල අභියෝගයක් ගෙන දෙනවා. ගැහැණිය ඇස් විහිදා තමා දෙස බැලූ පමණින් තම සියලු අභිප්‍රායන් ඉවත දමා ඇයගේ පාශයෙහි බැඳෙන්නට සිදු වනවා යැයි අතීත ආසියානු පිරිමියා නිගමනය කර තිබෙනවා. අනේ ඒ කාලේ පිරිමින් කොයිතරම් සියුමැලි දුර්වල ජාතියක් වෙන්න ඇතිද? බල්ලා බුරන්නේ බයටලු.

ඊළඟට පුරුෂයන් ගැහැනියගේ සිනාව වර්ගීකරණය කරනවා. කටකොනින් සිනාවීම, කොක් හඬ ලා සිනා වීම, දෙතොල පිට පෙරළා සිනා වීම යනාදී වශයෙන් මේ සිනාවන් මායම් හැට හතරට එක් වෙනවා. මේ වර්ගීකරණයෙන් පෙනෙන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි අතීත පිරිමින් ගැහැනියගේ සියුම් හැසිරීම් ලක්ෂණ කොතරම් දුරට අධ්‍යයනය කර ඇත්තේ ද යන්න. යම් දෙයක් අපේ මනසේ දිගින් දිගටම පෙරළි කරනවා නම් ඒ ගැන අපේ මතකය ඉඩක් වෙන් කර ගන්නේ නිරායාසයෙන්. අපේ මනසේ තැන්පත් වන බොහෝ දේවල්වලට ලැබෙන ඉඩ ප්‍රමාණය තීරණය කරන්නේ අපේම හැඟීම්වල තීව්‍රතාව කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

මායම් ලෝකෙට හඳුන්වා දීපු පිරිමින් ඒ සමගම තවත් දෙයක් නොකියා කිව්වා. ඒ ගැහැනියට තමන්ගේ හිතේ කොතරම් විශාල ඉඩක් වෙන්වනවාද යන බව. ගැහැනියගේ හැසිරීම් අධ්‍යයනය කරලා, ඒ ගැන හිතලා හිතලා, පස්සේ ඒවා මායම් කියලා වර්ගීකරණයක් කරලා ඒවායෙන් ප්‍රවේසම් වන්න කියලා තමන්ටම අවවාද දී ගන්න කොතරම් දුර්වල තැනක මේ අය ඉන්න ඇතිද? වර්තමානයේ වගේම අතීතයේ ගැහැනුත් මේ අය ගැන දුක් වෙන්න ඇති.

ගැහැනිය කර බා ගෙන හිටියත්, උඩ බලා ගෙන හිටියත් පිරිමින්ට ඒ මායමක්. පිරිමින්ගේ ගුණ කිව්වත්, පිරිමින්ගේ අගුණ කිව්වත් ඒත් මායමක්. කවට බස් දෙඩීම, බොරු බියක් දැක්වීම, බොරු නෑකම් කීම මේ සේරම මායම්. හරියටම බැලුවොත් ගැහැනියගේ චර්යාවන් සියල්ලම වගේ පිරිමි සලකලා තියෙන්නේ මායම් විදිහට.

මායම්වලින් ප්‍රවේශම් විය යුතුයි. එසේ නොවන්නේ නම් ස්ත්‍රියගේ මුලාවේ වැටී කුටුම්භ රක්ෂණයේ නිරත වෙන්නයි පුරුෂයාට සිදු වෙන්නේ. අතීත බ්‍රාහ්මණයන් තම වර්ගයාට අවවාද දුන්නේ එහෙම.

හේතුඵල වාදය ආසියාවේ ව්‍යප්ත කරපු ඒබ්‍රහම් ටී. කොවුර්ට අනුව ශක්‍රයාගේ ඉඳන් හින්දු දේවකතා සාහිත්‍යයම ලිංගිකත්වය පදනම් කරගෙන තමයි බිහිවෙලා තියෙන්නේ. ඒ කතාවල ඇතැම් බ්‍රාහ්මණයන් තමන්ගේ ගැහැනිය පර පුරුෂයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කුස ඇතුලේ සඟවා ගත් බවටත් කතා තිබෙනවා. තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලත් ඒ අය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි වැරැද්ද ගැහැනියගේ. ඇය කරන්නේ මායම් මගින් පුරුෂයන් වසඟ කර ගැනීමයි. ඉතින් ඇයි ඔය තරම් පහසුවෙන් වසඟ වෙන්නේ.

බටහිර මනෝ විශ්ලේශකයන් මේ මායම් හා සමාන කතාවක් කියලා තියෙනවා. ඒ තමයි දෛව ස්ත්‍රිය. ඔවුන් කියනවා ස්ත්‍රිය මෙන්ම පුරුෂයාත් අවිඥානයේ දී විශාල බියකින් පසු වෙනවා කියලා. මේකට කියනවා ෆැන්ටසයිස් කරනවා කියලා. ඒ අනුව ස්ත්‍රිය හැම විටම තමන් පුරුෂයකුගෙන් දූෂණයට ලක් වේ යැයි ෆැන්ටසයිස් කරනවා. පුරුෂයා සිතන්නේ තමන් කිසියම් ස්ත්‍රියකගේ වසඟයට කොයි මොහොතේ හරි හසු වෙයි කියලයි. ඔවුන් එවැනි ඉඩක් පවතින ස්ත්‍රියන්ට කිව්වා දෛව ස්ත්‍රිය කියලා. ( Seductress)

මේ මායම්වල නූතන දිගුව කියලා කියන්න වැඩි ඉඩක් තිබෙනවා. මෙවැනි දෛව ස්ත්‍රීන් අපේ අවටත් නැතිවා නෙමෙයි. මෙවැනි ස්ත්‍රීන් ටෙලි නාට්‍ය කලාව, සිනමාව, නිරූපණවේදය පමණක් නෙමෙයි ඇතැම් කාර්යාල පවා උඩුයටිකුරු කරනවා ඔබත් දැක ඇති. හැබැයි බටහිර මනෝ විශ්ලේශකයන් සියලු ස්ත්‍රීන් දෛව ස්ත්‍රීන් නෙමෙයි කියලා කියන්න පරිස්සම් වුණා. ඔවුන්ගේ මතය විද්‍යාත්මක පදනමක් සමග එන නිසා ඒ මගින් ගැහැනියට අසාධාරණයක් සිදු වුණේ නැහැ. කොහොමත් බටහිර සමාජය ආසියාව වගේ නෙමෙයි. ඔවුන් කාන්තාවට වැඩි ගෞරවයක් දුන්නා.

අතීතයට සාපේක්ෂව අද ගැහැනිය සමාජය ආක්‍රමණය කර අවසන්. ඒත් ඔවුන් තවමත් ඉන්නේ සම තැන නැතිනම් නිසි තැනවත් දිනා ගන්නා අරගලයක. එදා මායම් දාලා අපිව අල්ලා ගනී කියලා ගැහැනිය කුරිරු නිර්වචනයකට ලක් කළ පිරිමින් අදත් ගැහැනිය සමග අරගලයේ නිරතව ඉන්නවා. හැබැයි ඔවුන්ගේ මුහුණුවර වෙනස්.

jane-fonda-01

අද ගැහැනුන් මායම් පාවිච්චි කරන්න ඕනෙ පිරිමින්ව දැලේ දා ගන්නද ඔවුන්ගෙන් බේරෙන්නද කියලා ඇහුවොත් බහුතරයක් ගැහැනුන් නිසි පිළිතුර ‍ලබා දේවි. ඇතැම්විට දෛව ස්ත්‍රිය කියන්නේ පීඩනයේ සීමාවන් ඉක්මවා ගිය ගැහැනුන්ගේම විකාශනයක් වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මොන කුලකයකට වර්ගීකරණය කළත්, ගැහැනිය කියන සාධකය තමයි ලෝකයේ බලවත්ම. ‍මිනිසා කියන සත්ත්වයා මනෝ ලිංගිකයි කියලා කිව්වේ නූතන මනෝ විශ්ලේෂකයන්. මේ සාධකයෙදි ප්‍රධාන වන්නෙත් ස්ත්‍රියම තමයි. මවගේ සිට ස්ත්‍රිය නිරූපණය කරන භූමිකා සැලකිල්ලට ලක් කළොත් මේ බව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්.

කොහොම වුණත් මායම් කියන්නේ තවදුරටත් වලංගු සාධකයක් නෙමෙයි. අද වෙනකොට මේ මායම් කියන සංකල්පය හොඳට විනෝදය සපයනවා. නූතන මායම් හැට හතර ෆේස් බුක් එකේ නිතර සංසරණය වන සරල විහිළුවක්. ඒ අද. ඒත් එදා පිරිමින් ගැහැනුන් මත බලෙන් පටවපු මායම් හැට හතර එදා ගැහැනුන්ව කොතරම් පීඩනයට ලක් කරන්නට ඇති ද?

ලෝකය මේ යන ගමනෙන්ම ගියොත් කාන්තාවන් හොඳින් හෝ නරකින් බලය ලබා ගන්නවා කියලා බටහිර මනෝ විශ්ලේශකයන් මත පල කරලා තිබුණා. ඔවුන් කියන විදිහට ඒකට හේතුව පිරිමින් පෞරුෂත්වයෙන් දුර්වල වීම සහ කාන්තාවන්ගේ වසඟකාරී බව. මේ වන විට ලෝකයේ විවිධ රටවල කාන්තාවන් දේශපාලනයට සහ ව්‍යාපාරික ලෝකයට, නීති සම්පාදනයට වැඩි වැඩියෙන් දායක වෙමින් තිබෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කියලා තියෙන්නේ කාන්තාවන්ට සම තැන ලබා දීමට වසර විස්සක් තිස්සේ ඔවුන් දැරූ සියලු උත්සාහයන් වතුරේ ගොස් ඇති බවයි. තවමත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල දුෂ්්කර ගම්මානවල ගැහැනු දරුවෙක් ඉපදුනොත් නහයේ තෙත වැලි සිරකරලා මරා දමනවා. ජපානය, චීනය කොතරම් දියුණු රටවල් වුණත් විවාහය ප්‍රමාද වූ කාන්තාවන්ව සලකන්නේ පවුල්වලට අවමානයක් ලෙසටයි.

‘ඕනෑම දෙයකට එක සමාන වූත් ප්‍රතිවිරුද්ධවූත් බලයක් ඇත’ කියලා නිවටන්ගේ නියමයක් තියෙනවා. මානව සමාජය පුරුෂ මූලික වුණු දවසේ ඉඳන් ගැහැණිය ප්‍රතිවිරුද්ධ බලයක් රහිත පාර්ශවයක් ලෙසයි පැවැත්ම ගෙන ගියේ. ගහක එතෙන වැලක් යන සොබාදහම් නියමයට අනුව පුරුෂයා සහ කාන්තාව පවතිනවා නම් සුන්දරයි තමයි. ඒත් සියවස් ගණනාවක් ගිහින් හරි තමන්ට ප්‍රතිවිරුද්ධ බලයක් ගැහැනිය විසින් සොයා ගන්නවා නම් හොඳයි.

 

 

ටිරෝනි වෑවලගේ

Silumina

ඔබේ අදහස කියන්න...