සමකාලීන විචාර කලාව පිළිබඳ අධ්‍යාපනයේ යෙදෙන කවරකුට වුව හසු නොවන මානයක් අපි පසුගිය සතියේ සංකල්ප ගත කළෙමු. අප එය නම් කළේ බයිට් විචාර යනුවෙනි. සාහිත්‍ය විචාරය පිළිබඳ බරපතළ ලෙස කතා කරන කිසිවකුට මෙබඳු විචාර රීතියක පැවැත්ම පිළිබඳ නොවැටහී තිබීම ගැන කිසිවකු පුදුම විය යුතු නැත. එහෙත් විචාරකයාගේ ඉලක්කය තමා විචාරයට ලක් කරන කලා කෘතිය නොව තමා පිළිගැනීමට ලක් කිරීම බව එහි දී අපට පෙනී යන ලදී. ඉන් අදහස් වන්නේ බොහෝ විචාරකයන් තම විචාර මඟින් සමාජයෙන් ඉල්ලා සිටින්නේ තමා විචාරකයකු ලෙස පිළිගන්නා ලෙස බවය.
භාග විට මෙබඳු සමහර විචාරකයකුගේ අභිප‍්‍රාය තමාට අහිමි වූ කිසියම් හෝ පිළිගැනීමක් යළි තමා වෙත කැඳවීමය. මේ නිසා ඔවුන්ගේ විචාර සමඟ කලා කෘතියෙහි කිසිදු සබඳතාවක් නැත. එහෙත් අප මෙවර ප‍්‍රයත්න දරන්නේ මෙහි ඛණ්ඩනය වන තැන අල්ලා ගැනීමටය. පැහැදිලි විය යුතු දේ නම් ඔවුන් මේ පිළිගැනීම ඉල්ලා සිටින්නේ කවරකුගෙන්ද යන්නය. ඇත්ත නම් ඔවුන් තමන් පිළිගන්නා ලෙස ඉල්ලා සිටින්නේ නොපවතින කෙනෙකුගෙන් වීමය.
මෙය වඩාත් සුඛනම්‍ය ලෙස වටහා ගැනීමට නම් අපගේ ආශාව කි‍්‍රයාකාරී වන සැටි විමර්ශනය කිරීම වටනේය. කෙනෙකුගේ ආශාව එය තෘප්තිමත් කර ගැනීමෙන් නවතින්නේ නැත. එය තවත් ඉදිරියට තල්ලූ වීමෙන් සිදු වන්නේ මේ ඊනියා විචාර කලාව විනෝද සාධකයක් ලෙස (enjoyment as a critical Factor) මතු වීමය.
ජිජැක් For They Know Not what They Do වියමන ලියමින් නූතන දර්ශනය පීරා සොයා ගන්නේ විනෝදයේ දෘෂ්ටිවාදී කි‍්‍රයාකාරිත්වයයි. සරලව කියන්නේ නම් ඔහු එමඟින් යථාර්ථය ෆැන්ටසිය විසින් ගොඩනඟන ලද්දක් බව පෙන්වා දෙයි. මෙහි අර්ථය නම් ෆැන්ටසිය හරහා යාමෙන් අපට අපගේ සංකේත පැවැත්ම යළි සොයා ගැනීමට පිළිවන් බවය. එතැන දී ජිජැක් විනෝදාර්ථිකයේ විවිධ ස්වභාවයන් පිළිබඳ නිදසුන් සපයයි. මෙම සන්දර්භය තුළ විනෝදාර්ථිකය (Economy Of Enjoyment)
සැබෑ ප‍්‍රමෝදය (Jouissance) අල්ලා ගැනීමට සංකේතික ආශාව අපට උපකාරී විය හැකි ආකාරය පැහැදිලි කෙරේ. සැබැවින්ම ජිජැක් මෙතැන දී අපට පෙන්වා දෙන්නේ විනෝදය දේශපාලන සාධකයක් ලෙස [නැතහොත් දේශපාලනය විනෝද සාධකයක් ලෙස] පවතින ආකාරයයි.
එහෙත් සමකාලීන සමාජය තුළ විනෝදය නැතහොත් විනෝද සාධකය ඊට වඩා වෙනස් ආකාරයකින් කි‍්‍රයාකාරී වන සැටි දුට හැක. එනම් විනෝදය සමකාලීන කලා විචාරය තුළ කි‍්‍රයාකාරී වන [නැතහොත් එය මෙහෙයවන] ආකාරයයි. මින් අර්ථ ගැන්වෙන්නේ අද විචාරය පවතින්නේ කලා කෘති විචාරයට ලක් කිරීම උදෙසා නොව විචාරකයාගේ විනෝදය පිණිස බවය. එහෙත් ඔවුන් මුහුණ දී සිටින ඛේදවාචකය එතෙකින් නවතින්නේ නැත.
පසු ධනවාදී සමාජයක ආශාව (Desire) මිනිසා කෙරේ පවතින ආකාරය වෙනස්ය. සැබැවින්ම පසු ධනවාදී සමාජයක පවිත‍්‍ර වූ ආශාවක් (Pure Desire) දක්නට නොමැත. ඉන් අදහස් වන්නේ මහා අනෙකාගේ නොපැවතීමය. මෙම විචාරකයින් තම විචාරකරණය තුළ ඉල්ලා සිටින්නේ පිළිගැනීම (Recognition)බව ඇත්තය. එහෙත් ඔවුන් නොදන්නා දේ නම් (හෝ දැන දැනම නොදන්නා බව අඟවන දේ නම්] ඔවුන් පිළිගැනීම සඳහා මහා අනෙකා නොමැති බවය. මේ නිසා ඔවුන්ගේ ආත්මය මර උගුලක (Deadlock) පැටලෙයි. විචාරකයන්ගේ අරමුණු ඉටු වන්නේ නැත.

Andy 2
මෙහි දී ආත්මය (Subject) සමාජ භාවිතාවකින් තොරව ඉබා ගාතේ පා වීම නිසා සිදු වන්නේ විනෝදය උදෙසා පැවතීමය. ඒ වූ කලී සමාජ පිළිගැනීමක් නොමැති විනෝදයකි. යමෙකු අතට අත දී එම අත නොහැර අල්ලාගෙන සිටින්නේ නම්, එය පිරිමදින්නේ නම් නැතහොත් රිදෙන ලෙස මිරිකන්නේ නම් ඔහු තල්ලූ වන්නේ ශෘංගාර කලාපයකටය. එහි තිබෙන්නේ විනෝදයයි. එපරිදිම අද විචාර කලාව ද කිසියම් ගෘංගාරාත්මක භාවිතාවකි (Erotic Practice) .
යට කී ප‍්‍රවාදයෙන් අදහස් වන්නේ විචාරකයා තම ලිවීමෙන් යම් තෘප්තියක් ලබන බවය. අපගේ ගැටලූව වන්නේ එම ලිවීම කිසිදු විමර්ශනයකට යොමු නොකිරීමය. එය කිසියම් ස්වයං ශෘංගාර භාවිතාවක් (Auto – Eroticism) වන බැවින් තම ලිවීම සඳහා දැනුමක් ඔවුනට අවශ්‍ය වන්නේ නැත. තම ලිවීම මඟින් කියවන්නිය කිසියම් ඥානනය වීමක් වෙත යොමු වනු දැකීමට ද ඔහු අපේක්ෂා නොකරයි. එහි ඇති ශෘංගාරය ඔහු පමණක් විඳින අනෙකා තුළ කිසිදු හැඟීමක් ඇති නොකරවන ආකාරයේ වූ කිසිවකි. ඔහුගේ කලා කෘතිවලින් පවා බාහිරට ප‍්‍රක්ෂේපණය වන ශෘංගාරයක් නැත. මේ නිසා සිදු වී ඇත්තේ විලිබිය නොමැති පිරිසක් බිහි වීමය. කවර ප‍්‍රශ්නයක් වුව ද ඔවුනට ප‍්‍රශ්න නොවේ.
සමකාලීන විචාර භාවිතාව අරබයා අප යට සඳහන් කළ ප‍්‍රවාද වඩාත් සුඛනම්‍ය ලෙස වටහා ගැනීමට නම් විනෝදය යන්න මනෝ විශ්ලේෂණීය අර්ථයකින් විමසා බැලිය යුතුය. ඒ අනුව විනෝදය (Enjoyment) යනු සතුට (Pleasure) නොවේ. විනෝදය පවතින්නේ සතුටට ඔබ්බෙනි. එනම් සතුට වූ කලී සමබර තෘප්තියක් සමඟ පවතින්නකි. එහෙත් විනෝදය අස්ථාවර වනවා සේම ක්ෂතිමය අතිරික්තයකි. ෆ්‍රොයිඩියානු අර්ථයකින් එය වේදනාත්මක සතුටකි. (Pleasure in Pain) මෙම විනෝදය අප බොහෝ විට වටහා ගන්නේ දේශපාලනික ලෙසය. විශේෂයෙන් වර්ග වාදය පවතින්නේ අනෙකාගේ අතිරික්ත විනෝදය පිළිබඳ ෆැන්ටාස්මතික ලෙස වටහා ගැනීම තුළය.
සමකාලීන විචාර අක්ෂය වෙතට විනෝදාර්ථිකය කඩා වදින්නේ දේශපාලනික සාධකයක් ලෙස නොවේ. විචාර කාර්යය තුළ ඔවුන්ගේ විනෝදය රළ නැෙඟනයුරු මනාව පරීක්ෂා කර බැලීමට නම් මුහුණුපොතේ ඔවුන්ගේ ගිණුම් වෙත මඳක් කර පොවා බැලීම මැනවි. සයිබර් අවකාශය තුළ රඟදෙන කලා විචාරය මෙහෙයවන්නේ විනෝද සාධකයයි. මේ නිසා මුහුණුපොත මඟින් ඔවුහු එකිනෙකා පරයමින් තම තමාව ප‍්‍රබන්ධ කර ගනිමින් සිටිති.
මුහුණුපොත යනු අප මීට පෙර අනන්තවත් සඳහන් කර ඇති පරිදි විපරිත අඩවියකි. එහි ලියන අය තෘප්තිමත් කර ගන්නේ තමන්ගේ විපරිත ආශාවකි. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස කි‍්‍රයා කරද්දී වුවත් කෙනෙකුට විලිබිය නැති ලෙස කුණුහරුප ලිවීමට පවා මුහුණුපොත අවකාශ සපයයි. අප යට සඳහන් කළ ඊනියා විචාරකයන් වැඩි වශයෙන් විචාර ලියන්නේත් එකිනෙකාගේ පිට කසා ගන්නේත් මේ විපරිත අඩවිය තුළය. අද කලා විචාරය යනු එබඳු නාසිස්මික වූ විපරිත ප‍්‍රකාශනයකි. andy
ඇත්ත. මෙම ලිපිය පසුගිය සතියේ ලියූ බයිට් විචාර ලිපියේම දිගුවක් තමයි. නැතහොත් මින් එහි ඌන පූර්ණයක් සිදු වෙයි. අප පිළිතුරු සොයන්නේ අසාර කලා නිර්මාණ පිළිබඳව හෝ ලිවීමෙන් ඔවුන් සොයා යන්නේ කුමක්ද? යන ප‍්‍රශ්නයටය. එහෙත් ඔවුනට කිසිවක් හෝ කිසිවකු මුණ නොගැසෙයි. එය හුදු ස්වයං වින්දනයකි. එහෙත් මෙම ලිවීම මර උගුලක් බව කිසිවකුට වැටහී නැත. නොබෝ දිනකින් තමන්ගේ මළ ආත්මය තමාටම සම්මුඛ වීමට නියමිතය.

ඔබේ අදහස කියන්න...