චීන ජාතික රාජ්‍යයේ ආහාරවල දේශපාලන- ආර්ථිකය කොටස් තුනකින් සමන්විතය.

A.අධිරාජ්‍යයන් පැවති සමයේ අධිරාජය සමඟ නිෂ්පාදනය වූ අහාර සංස්කෘතිය.

B.කෘෂිකාර්මික ගොවියාගේ ආහාර සංස්කෘතිය.

C.නූතන නාගරික චීනය සමඟ බැඳී ගිය Fast food සංස්කෘතිය. මින් අදහස් වන්නේ චීනය ට පිටතින් ඇතුල් වූ ආහාර ය.

1949 දක්වා චීන ඉතිහාසය යනු ආහාර සංස්කෘතිය පැත්තෙන් ඒකතාන්මය එකකි. එහි දී අධිරාජයා කේන්ද්‍ර කර ගනිමින් ආහාර සංස්කෘතිය බිහි විය. එහි වැඩ නොකරන අධිරාජයා සහ වංශාධිපතියන් පුළුස්සා ගැනීමට පහසු මස් සහ සීනි අධික ආහාර කේන්ද්‍රික විය. මීට පරස්පරව බහුතර ගොවි ජනයාට මේධය සහ සීනි දුර්ලභ දේවල් විය. පන්ති අරගලයේ දෘෂ්ටිකෝණයෙන් නැරඹූ විට අධිරාජයාට සහ ප‍්‍රභූන්ට ආහාර යනු අතිරික්ත විනෝදය ලබා දෙන්නකි. එනම් චීන ආහාර සමඟ මිශ‍්‍ර වී ඇති ඖෂධ සංස්කෘතියයි. වැඩ නොකරන නිසා වැඩි වෙලාවක් ගත වන ආහාර සංස්කෘතියක් ප‍්‍රාග්ධනය හිමි පන්තියට උරුමය. අනෙක් අතට දුප්පත් ගොවියන්ට ආහාර යනු ශරීරයේ මූලික අවශ්‍යතාවට ඔබ්බෙන් නොයන්නකි. මේ නිසා ප‍්‍රභූ ආහාර සංස්කෘතිය කාමාවචර ෆැන්ටසියක් වන අතර දුප්පතුන්ගේ ආහාර ශරීරය පවත්වාගෙන යාමේ සංකේත ප‍්‍රබන්ධයකි. 1949 දී මා ඕගේ විප්ලවය නිසා එක පැත්තකින් අධිරාජ්‍යයා කේන්ද්‍ර වූ ආහාර සංස්කෘතිය ක‍්‍රමයෙන් චීන මහජනයාගේ ජනප‍්‍රිය සංස්කෘතියට ඇතුළු විය. අනෙක් අතට කොමියුනිස්ට් පක්ෂය චීන ගොවියාගේ ශක්තිමත්භාවය ගොඩනැඟීම සඳහා කෘෂිකර්මය කාර්මිකකරණය කිරීමට උත්සාහ කරන ලදී. මේ සඳහා ඒ වන විට ඇමරිකාවේ ප‍්‍රචලිතව පැවති කුකුල් Farm ව්‍යාපෘති චීනය තුළ අත්හදා බැලූ අතර එමඟින් චීන මහජනයාගේ දෛනික ආහාරවලට කුකුල් මස් සහ බිත්තර එකතු විය.

නූතන චීනයේ ආහාර සංස්කෘතිය පළාත් අනුව බෙදී ගොස් ඇත. රටේ විශාලත්වය මීට පාදක වී ඇත.

A උතුරු චීනය – ලූණු රසයෙන් යුතු ආහාර පිළියෙල කරයි. තිරිඟු මාස්ටර් ආහාරය වන අතර එළවළු අඩු ය. තිරිඟුවලින් සාදා ගන්නා නූඞ්ල්ස් බහුලය.

B බටහිර චීනය – හලාල් ක‍්‍රමයට පිසින ආහාර වැඩි අතර බැටළු මස් මාස්ටර් ආහාරය වෙයි.

C මධ්‍යම චීනය – කුළුබඩු විශාල පරිමාණයෙන් යොදා ආහාර පිළියෙල කරයි.

D නැගෙනහිර චීනය – රසවත් සහ සැහැල්ලූ ආහාර බහුලය. බොහෝවිට මිරිස් වැඩියෙන් පාවිච්චි කරන අතර ආහාරවලට පිටි යොදා ගනියි.

නූතන චීන ආහාරවල මූලිකව දකින්නට ඇති ලක්ෂණය වන්නේ කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් පාවිච්චි කර (ඔවුන් බත් සහ පාන් කන්නේ අඩුවෙනි ප්‍රෝටීන් වැඩිපුර පාවිච්චි කරයි. උදේ ආහාරය සැහැල්ලූ සහ ජංගමශීලිය. එය 7 – 9 දක්වා දිගුය. දහවල් ආහාරය 12 -2 දක්වා ගමන් කරයි. අධික බර සහිත ආහාර නොගෙන සැහැල්ලූ ආහාරවලට මුල් තැන දෙයි. රාත‍්‍රී ආහාරය සවස 6 ට පටන් ගෙන රාත‍්‍රී 9 ට අවසන් වෙයි. මෙය පවුල සමඟ හෝ පවුල් පිටින් ගන්නා ආහාර වේලයි. මෙහි දී මස් වර්ග භාවිතය අධික වන අතර අනුභවයෙන් පසු පැයක් පමණ සියලූදෙනා කතා බහ කරමින් සිටිති. මේ නිසා ආහාර  හරහා සමාජානුයෝජනයක් සිදුවෙයි. ඇමරිකාවේ දී මෙන් හුදෙකලා ආහාර හෝ මත්පැන් පානය කරන්නන් චීනයේ දුර්ලභය.

තරු හෝටල්වල සහ අවන්හල් තුළ අහාර පිළියෙල කිරීමේ දී සාධක හතරක් සැලකිල්ලට ගනියි

  1. වර්ණය
  2. සුවඳ
  3. රසය
  4. පෙනුම

 මෙම සාධක හතර අන්තර් සංකලනයක් කිරීම කෑම මේසය මත දී පෙනෙන්නට තිබේ. ඊට අමතරව ආහාර පිළියෙල කරන විට පහත රස නොමැරෙන්නට වග බලා ගනියි.

1.පැණි රස

2.තිත්ත රස

3.ලූණු රස

4.ඇඹුල් රස

විශේෂයෙන් මස් වර්ග පිළියෙල කිරීමේ දී මේ එක් එක් රසයට මුල් තැන දෙමින් සකස් කරයි. උදාහරණයක් ලෙස පැණි රස හෙජමොනික කර කුකුල් මස් පිළියෙල කරයි. එපරිදිම තිත්ත රස හෙජමොනක කර දුර්ලභ හරක් මස් පිළියෙල කරයි. ආහාර ජීර්ණයට අදාළ වෛද්‍ය විශ්වාස බහුල නිසා ආහාරවලට පසු නොව ආහාරවලට පෙර පලතුරු ලබා දෙයි. ආහාර ජීර්ණය පහසු කිරීමට විවිධ සුප් වර්ග පිළියෙල කරනු ඇත.

චීනයේ ආහාර සංස්කෘතිය සමඟ ලිංගිකත්වය බැඳී පවතියි. ලංකාවේ තිබෙන චීන කෑම යනු අති මූලික සිංහල පරිකල්පනයකි. එවැනි කෑම වර්ග චීනයේ නැත. චීනයේ ආහාර ගැනීම බහුල ලෙස සාමූහිකය. ඔවුන්ගේ ආහාර සංස්කෘතියට අනුව බොහෝ මාළු වර්ග සහ මස් වර්ග කෑමට ගත හැක්කේ සාමූහිකවය. චීන වෙදකම පිළිබඳ විශ්වාසය නිසා එහි ආහාර සංස්කෘතියට විවිධ හතු වර්ග 300ක් පමණ එකතු වී ඇත. වාණිජ පදනමින් චීන ආහාර විකුණන අලෙවිහල් වල දී මෙම හර ඉවත් වෙයි. ඔවුන් දීර්ඝ වේලාවක් ආහාර ගන්නා නිසාත්, චොප්ස්ටික්වලින් අහුලා කන නිසාත්, මුඛයේ දී විශාල කාලයක් හපන නිසාත් ආහාර ජීර්ණයේ දී උරා ගන්නා ආහාරවල ගුණය වැඩි වන අතර ආහාර ජීර්ණය අධිකය. වෙහෙසෙන නිසාත්, පිසිමේ දී ගුණයන් ආරක්ෂා වන නිසාත් ගන්නා ආහාරවලට සාපේක්ෂව මලපහ ප‍්‍රමාණය තුලිතය. මලපහ පරීක්ෂාවකින් ඉක්මන් රෝග නිධානයන්ට ඉඩ විවර වෙයි. අනෙක් අතට චීන පිරිමියාගේ උදරය ඉදිරියට නෙරා ඒම දුර්ලභ ලක්ෂණයකි. අති බහුතර දෙනෙකුගේ සම නිරෝගිය. තෙතබරිතය. කොණ්ඩය තදින්  ඝණකමය. ශක්තිමත් පේෂී සහිතය. ආහාර අනුභවයේ දී කොන්ෆියුසියස්ගේ දර්ශනය මඟින් බිහි වූ සාර ධර්ම පද්ධතියක් ඇත. සමස්ත ආහාර සංස්කෘතිය අධිරාජයගේ වට්ටෝරු චීන කොමියුනිස්ට් පක්ෂයේ කාර්මික ප‍්‍රතිපත්ති සහ බටහිර ආහාරවල බලපෑම නිසා සංකලනය වී ඇත. මේ හේතුව නිසා ආහාරවලට අදාළ පන්ති අරගලය දැන් වෙනස් වී ඇත.

ඔබේ අදහස කියන්න...