දේශපාලනය කිරීමේදී සමාජ ගැටලු අරබයා අප දෙන විසඳුම් පවතින ක්‍රමයට අවශෝෂණය වී යයි. සාමාන්‍යයෙන්, බියක් ඇති වෙයි. මෙම බියට සාධාරණ ඓතිහාසික පාඩම් බොහොමයක් තිබේ. මෑතක දී, සිරීසා නම් ග්‍රීසියේ රැඩිකල් වාමාංශික පක්ෂය විසින් මතු කළ සමාජ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති කිසිම ප්‍රතිවිරෝධයකින් තොරව යුරෝපා සංගමය විසින් අවශෝෂණය කර ගැනීම, මෙයට එක් උදාහරණයකි. අනෙක් අතට, ජනතා විමුක්ති පෙරමුණේ බොහෝමයක් සටන් පාඨ දැන් සජබෙද මතුරන තත්වයක් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ, රැඩිකල් වම කළ යුතු යැයි කියන කාරණා කිහිපයක් මෙසේ සාරාංශගත කළ හැකි ය.

 

  1. පවතින ක්‍රමය තවදුරටත් නිවැරදිව අර්ථකතනය කිරීම.

  2.  ප්‍රශ්න වලට පිළිතුරු දීම නොව, ඒවා නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ දැරීම.

  3.  දැඩි අවිනිශ්චිතතා සහිත යුගයක දී බලය ලබා ගෙන කළ හැකි දේ සීමිත නිසා, තවදුරටත් දෘෂ්ටිවාදය විචාරය කිරීම.

 

              දැන්, අපි මේවා එකිනෙක ගෙන සලකා බලමු. පවතින ක්‍රමය අර්ථකතනය කිරීම ඇත්තටම සම්භාව්‍ය මාක්ස්වාදී කලාවකි. නමුත්, අර්ථකතනය හෝ විචාරය (Criticism) සහ විශ්ලේෂණය (Analysis/ Interpretation) අතර පැහැදිලි වෙනසක් ඇත. එනම්, පළමුවැන්න, සමාජ ගැටලු භාෂාව නිසා ඇති වූ දෙයක් බවට ඌණනය කරයි (හැඟවුම්කරණ ක්‍රියාවලියට සියල්ල බැර කරයි). එවිට කළ යුත්තේ, ඉතාම හීන් සීරුවෙන් මෙම හැඟවුම්කරණ ක්‍රියාවලිය විසංයෝජනය කිරීම හා එය දැනටමත් ගොඩ නංවන ලද බල සම්බන්ධතා නිරාවරණය කිරීමයි. උදාහරණයක් ලෙස, අප ලිංගික සබඳතා ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේ දී අනුගමනය කරන පරාමිතිය මෙය යි. අවිඥාණක බල සබඳතා සංකේතනයට රැගෙන ඒම, නමුත් ‘පවතින ක්‍රමය’ යනු කුමක්ද? ‘අර්ථකතනය’ යනු කුමක්ද? බොහෝදෙනා පළමු ප්‍රශ්නයට දෙන පිළිතුර වන්නේ, පවතින ක්‍රමය යනු, ධනවාදය කියා ය. මෙම පිළිතුරෙහි පවතින අඩුපාඩුව අපි ජෝර්ජ් ලූකාශ් (Georgy Lukacs) හරහා විදාරණය කර ගනිමු. පහත ‘History and Class Consciousness’ කෘතියේ උදෘතය සලකා බලන්න (P.27).: 

            “මාක්ස්වාදය හා බූෂුවා චින්තනය අතර තීරණාත්මක වෙනස සනිටුහන් වන්නේ, ආර්ථික අරමුණු පිටුපස ඇති ඉතිහාසය පාදක කරගත් පැහැදිලි කිරීම අරභයා නොව සමස්තය පිළිබඳ දෘෂ්ටිකෝණයෙනි. මාක්ස් විසින් හේගල්ගෙන් උකහා ගත් සමස්තය නමැති මෙම ප්‍රභේදය එනම්, සියලු අනු කොටස් අභිබවා යන සම්පූර්ණත්වය පිළිබඳ අදහස මගින් විශිෂ්ට නව්‍ය විද්‍යාවක පදනම සකස් කිරීමට ඔහුට හැකි විය.”

 

             මෙම උද්ධෘතයේ පැහැදිලි සාරාංශය වන්නේ, පවතින ක්‍රමය යනු, සමස්තය පිළිබඳ අදහස විය යුතු බවයි. මාක්ස්වාදයේ ක්‍රමය පිළිබඳ අදහස සමස්තය (Totality) යි. දැන්, සමස්තය අර්ථකතනය කිරීම මීට වඩා ගැඹුරු ප්‍රශ්නයකි.

             සමස්තය (මාක්ස්වාදය) හා අර්ථකතනය (Analysis) යන මේ දෙවර්ගයම අයත් වන්නේ, පසමිතුරුකාරී යථාර්ථයක් පැහැදිලි කරන විද්‍යාවන් දෙකකට ය. ඇලෙන්කා සුපන්ච්ත්ගේ පහත උද්ධෘතය සලකා බලන්න:

        “ මාක්ස්වාදය හා මනෝවිශ්ලේෂණය අතර ඇති එක් පොදු සාධකයක් වන්නේ, ඒවා ගැටුම්කාරී විද්‍යාවන් (Conflictual Sciences) වීමයි. ඒවා පිහිටා ඇත්තේ, තමන් න්‍යායගත කරන ගැටුම තුළමයි; ඒවා ගැටුම්කාරී හා පසමිතුරුකාරී යැයි හඳුනා ගන්නා යථාර්ථය තුළ ම පිහිටා ඇත. එවන් අවස්ථාවක දී විද්‍යාත්මක වාස්තවිකත්වය හමු වන්නේ, තනාගත් අපක්ෂපාතීත්වයක් තුළ දී නොවේ.”

 

            පවතින ක්‍රමය යන්න සැබෑ මාක්ස්වාදී අර්ථයකින් සමාජ සබඳතා පිළිබඳව සමස්තය නම්, එය අර්ථකතනය කරන විද්‍යාව පිහිටා ඇත්තේ, මෙම සමස්තය තුළ ම නම්, නෛසර්ගයෙන් අර්ථකතනය පාර්ශවීය ක්‍රියාවකි. සමස්තය තුළ එක් කොටසක් තුළින් සමස්තය දැකීම සැබෑ ප්‍රහේලිකාවකි. ලූකාක්ශ් (Lukacs) මෙය හඳුන්වන අප දන්නා සංකල්පය නම් පන්ති විඥාණය (Class Consciousness) යි. එවිට, නිර්ධන විඥාණය (Proletarian Subjectivity) යනු, සමස්තය අර්ථකතනය කරන එකම හා ඛේවල ආත්මීය ආස්ථානය යි.

             මෙම චලනය (සමස්තය- අනු කොටස- නිර්ධන විඥාණය) කොටසක් මඟින් සමස්තය නිර්වචනය කිරීම අනිවාර්යය පසමිතුරුතාවයකට මඟ පාදයි. උදාහරණයක් ලෙස, අපි මෑතකදි ප්‍රචලිත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව විසින් කළා යැයි කියැවෙන වංචනික සිද්ධිය සලකා බලමු. එම සිද්ධිය තේරුම් ගැනීමේ ප්‍රකට ප්‍රවේශය වූයේ, ඇය වැනි වැදගත් නැති ගැහැණියකට මෙවන් වෙස් මුහුණු සෙල්ලමක් (Masquerade) මගින් මුල් බැසගත් හා වැදගත් ව්‍යාපාරික, බැංකු හා ප්‍රකට චරිත රැවටීමට හැකි වුයේ කෙසේ ද යන්න ය (Inventing Anna ටෙලි නාටකය බලන්න!). මෙය, බූෂුවා ලුම්පන් චින්තනය යි. සමස්තය ඇත්තේ, තිළිණි හොබවන ආත්ම මූලිකත්වය තුළයි. එනම්, ඇයගේ වෙස් මුහුණ තුළයි. තමන්ගේ අව්‍යාජත්වයට වඩා වෙස් මුහුණට අනන්‍ය වීම හරහා කෙළවරකටම ගමන් කිරීම, තමන්ගේ බොරුවට ඇය අනන්‍ය වීම ඇය දැන් දන්නා පරිදි භයානක සෙල්ලමකි. එය, සත්‍යය පරාජය කරන සුළු ප්‍රයත්නයකි. එමගින්, අප උගන්නේ සමස්තයට (යථාර්ථයට) ඇති ප්‍රබන්ධ මානය නොවේ ද? මෙම නොහැකිතාවයේ ආස්ථානය (Impossibility) වම උගන්නේ, ගැහැණියක මෙන් පිරිමි අපට අපව හිස් කර ගැනීමට හැකි වේ නම්, අර්ථකතනය යම් අන්දමින් අපටම කරගත හැකි ය යන්නයි. දැන් අප දන්නා පරිදි, තිලිණිගේ ප්‍රයත්නය හමාර වූයේ, තියුණු ගැටුමකිනි.

Total Fake –“It’s much harder to lie with your body than with your words”

 

           මගේ තර්කය වන්නේ, මෙවැනි ආකාරයකට කොටසක් මඟින් සමස්තය කියවීමට යාමේ දී අපට මින් පෙර ගණනය නො කළ යථක් හමු වේ. එනම්, අපගේ ආශාව තීරණය කළ යුතු තැනක් සම්මුඛ වෙයි. එය, දෙලොවක් අතර චිත්‍රපටයේ ටෝනි රණසිංහ තම පැරණි පෙම්වතිය රැගෙන රථය පදවාගෙන යන විට සම්මුඛ වූ මොහොත වැනි ය (එහා මෙහා යන wipers මතකයට නගන්න). දැන්, අප පෙර සඳහන් කරන ලද දෙවන ප්‍රශ්නයෙහි ඇති අඩුපාඩුව වටහා දිය හැකි ය. එනම්, ආශාව ගැන තීරණය කළ යුතු මොහොතක ප්‍රශ්නයක් තේරුම් ගැනීමට අපට එයට අනිවාර්යය පිළිතුරක් දීමට සිදු වේ. යථෙහි මානය එයයි. ‘M Butterfly’ චිත්‍රපටය තුළ දී, රෙනේ නම් ප්‍රධාන චරිතය තමා පෙම් කළ යුවතිය සැබැවින්ම පිරිමියෙක් යැයි දැන ගැනීමෙන් පසු තම ආශාව තරණය කිරීමට නොහැකිව කළේ සියදිවි නසා ගැනීමයි. නමුත්, මම පුද්ගලිකව කැමති ‘Peaky Blinders’ නමැති මෑතකාලීන ටෙලිනාට්‍ය තුළ ටොමී ෂෙල්බිගේ තෝරා ගැනීමටයි. ඔහුට අනුව, ඔහු දෙවන ලෝක යුද්ධයෙන් පසුව සටන් බිමෙන් නිරුපද්‍රිතව බේරී එම මිය යාමට අමතක වීමෙන් ඇති වූ තත්වයකි. ඔහු දැනටමත් මිය ගොස් ඇති නිසා (වැරදීමකින් ජීවත් වන නිසා) ඔහුට සියල්ල විවෘත ය. එනම්, සම්පූර්ණයෙන් නිදහස් ය. අතීත ග්‍රීක මිත්‍යාන්ත තුළ මෙදූසාගේ (Medusa) චරිතය හොබවන්නේ ද මෙවැනි impossible ආස්ථානයකි. ”හංස විලක්” තුළ ධර්මසිරි මේ කිට්ටුවට පැමිණි ජනශ්‍රැතියට හසු වී ඔහුගේ තියුණු නිදහස් බව නැතිකර ගනී.

           මින් මා විස්තාරණය කිරීමට අදහස් කළේ, යම් අවස්ථාවල අපට ප්‍රශ්න වලට සෘජුව පිළිතුරු දීමට සිදු වේ. ඉන් බැහැර වීම තුළින් අපට අන් සංවිධාන විවේචනය කිරීමේ අයිතිය ද නැති වන බව මගේ විශ්වාසය යි.

             දැන්, අපි අවසාන වාමාංශික ආස්ථානය වෙතට අවතීර්ණ වෙමු. පවතින යථාර්ථය බෙහෙවින් අවිනිශ්චිත නම්, බලය ලබා ගැනීමෙන් ඵලක් නැති ද? පළමුව, අප තේරුම් ගත යුත්තේ, මෙය අපට දෙන ලද මොහොතක දී සවිඥාණිකව සම්පූර්ණයෙන් තීරණය කළ හැක්කක් නොවේ යන්නයි. ආදරය වෙත අප නැඟෙන අවස්ථාවක් සිහියට ගන්න. එවැනි අවස්ථා යනු, අපට අපව සම්පූර්ණ පාලනයෙන් ගිලිහෙන අවස්ථාවන් ය. සමහර විට, පසුව අපට අපහසුතාවයන්ටත් මුහුණ දීමට සිදු වේ. දේශපාලනයේ දී, මා සිතන ආකාරයට එහි ඇති පසමිතුරුකාරී සමස්තය නිසා, අප ද එහි තුළ ස්ථානගතව ඇති නිසා කිසි විටෙකත් මෙවැනි තේරීම් තත් කාලයේ දී කළ නොහැකි ය. ප්‍රංශ විප්ලවය හටගත් ආකාරය ගැන අපූරු සිදුවීමක් ජිජැක්ගේ ‘Less than nothing’ කෘතියේ සඳහන් කර තිබුණි. දින කතාව කෙටි කළහොත්, ජනතා නියෝජිතයෙකු ලුවී රජතුමා හමු වී ඇති වූ සංවාදයක් දුරදිග යාමෙන් තම නියෝජිතයා තමන්වත් ඊට පෙර තමන් ගැන නොදැන සිටි කාරණා තමන් හරහා කියවීමෙන් අනතුරුව, දැන් තමන්ගෙන් කියැවුණු දෙය මත පිහිටනු පිණිස ජනතා මන්ත්‍රණ සභාව යොමු කළේ ය. ව්‍යුහවාදය මගින් උගන්වන හැඟවුම්කරණයේ ඇති භෞතිකභාවය පිළිබඳ මීට වඩා අනර්ඝ උදාහරණ නැති තරම් ය. ප්‍රංශ විප්ලවය ද මුලින් පටන් ගත්තේ, කට වැරදීමක් නිසා ය.

           අනෙක් අතට, ඉහත ආස්ථානය උපකල්පනය කරන ආත්මීය ආස්ථානය කුමක්ද? පසමිතුරුකාරී යථාර්ථයක් තුළ බලය වෙතින් පසුබැසීම නොකියා කියන්නේ, බලය ගැනීම පොළඹවාලන නැතිනම්, වඩාත් නිවැරදිව පොළා පන්නවන (Interpellate) ආත්මීයත්වය දෘෂ්ටිවාදයක් බවයි. අල්තූෂර්ගේ තීරණාත්මක මැදිහත් වීම මෙය යි. ඉන් පිළිබිඹු වන්නේ, අවිනිශ්චිතතාවය තුළ බලය උරගා බැලීම අනිවාර්යයෙන් දෘෂ්ටිවාදාත්මක ආස්ථානයන්ට පසුබසින බවයි. ගැටලුව වන්නේ, තීරණාත්මක අවස්ථාවල දී පොළා පන්නවන ලද ආත්මීයත්වයක් (Interpellated Subject) හා ආත්මීය නිස්සාරත්වය (Subjective Destitution) අතර වෙනස තත්කාලීනව ලකුණු කළ නොහැකි වීමයි. එය, මනුෂ්‍ය සීමාව (Finitude) යි. එය ද වෙන් කළ හැකි එකම අවස්ථාව පසු ආවර්තිතව (Retroactive) ය. එවිට, අපට ආත්මය ගැන අල්තූෂර්ගේ දැක්මෙන් එහාට ගොස් දැනටමත් පවතින හිස් ආත්මය (Always already existing empty subject) න්‍යායගත කළ හැකි ය. මෙම ආත්මයේ ව්‍යාකරණය නිශේධනාත්මක නිසා, එහි නිදහස තීරණය වන එකම impossible ක්‍රමය St.Just- සෙයින් ජස්ට් [Louis Antoine Léon de Saint-Just, was a French revolutionary, political philosopher, member and president of the French National Convention, a Jacobin club leader, and a major figure of the French Revolution.] ප්‍රංශ විප්ලවය තුළ සංකේතවත් කළාක් මෙන් මාලිමාවක් නැති කුණාටුවකට හසු වූ නාවිකයන් මෙන් ඔරුව පැදවීමයි.[Lenin?] මෙම වරණයට බිය නම්, අපට රාජ්‍යය හා විවාහය වැනි නිදහස හොබවන අඩවියන් (Sites) න්‍යායගත කළ නොහැකි ය. විප්ලවීය රාජ්‍යය හා සැබෑ ආදරය තුළ ඇති කරගත් විවාහ යනු, ඇත්තෙන්ම මාලිමාවක් නොමැතිව ඔරු පදවන නාවිකයන් වැනි ය. එහි ඇති විරුද්ධාභාසය වන්නේ, නිකම් හෝ එම ඔරුව ගමනාන්තයකට ළඟා වුවහොත්, එහි මගීන්ට එය අත්දැකෙන්නේ එය අනිවාර්යයෙන් ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබූ ඔරුවක් ආකාරයෙන් ය. එවිට, කුණාටුවට ඇති සංකේතනය වෙනස් වෙයි. ඉතිහාසය වෙනස් වෙයි (Changing the past). අනාගතය විවෘත වෙයි.

           මෙම හේතු මත මා කියන්නේ, දීප්ති නැවතත් මෛත්‍රීපාල/ චතුරිකා යුගයට යා යුතු ය. නැතිනම්, ඊට විවෘත විය යුතු ය. අප සිතනවාට වඩා තත්වය විවෘත විය හැකි ය. අවිනිශ්චිත බව බූෂුවා අදහසක් ද? සමස්තය දෙස විපරම් කළ විට මට හැඟෙන්නේ, අවිනිශ්චිත වීමටවත් අපට පොදු ස්වෛරීත්වයක් හෝ වැඩපිළිවෙළක් නොමැති බවයි. අවිනිශ්චිත බව තුළවත් නිදහස නොමැත. චන්ද්‍රිකා යුගය සිහියට ගන්න. සැබැවින්ම, එම අවධිය ධනාත්මකව අවිනිශ්චිත යුගයකි. එවන් යුගයක දී, අපට නොයෙක් නිර්මාණශීලී වැඩ කළ හැකි ය. නමුත්, අද ඇත්තේ, හාස්‍යමය තත්ත්වයකි. මෙවන් යුගයක දී උත්තෝලනය හා නැඹුරුව ඇත්තේ, දීප්ති වැනි හාස්‍යය තේරුම් ගත් හා උරගා බලන දේශපාලනඥයින් තුළ මිස අනුර කුමාර වැනි tragic චරිත තුළ නොවේ. එම නිසා, අපට විශ්ලේෂණය [End of psychoanalysis ? and confront positivity…] නිම කරන්නට කාලය මෙය නොවේ ද? 

ඩිල්ෂාන් ප්‍රනාන්දු.

               

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. චතුරිකා යුගය කියන්නේ වැදගැම්මකට ඇති දෙයක් නෙමේනේ. ඒ අවස්ථාවේ භාවිතා කරපු අනිත් පැත්ත පෙරලුනු ඔරුවක් විතරයිනේ

Comments are closed.