බලය පිළිබඳ ෆූකෝගේ නව සංකල්පයට අනුව බලයට යටත් වීම මඟින් පුද්ගලයාට අනන්‍යතාවක් ලබා දේ. ඒ අනුව  බලය මර්දනකාරී, පුද්ගල නිදහස අහිමි කරන දෙයක් ලෙස සලකන සාම්ප‍්‍රදායික සිතීම අපි දැන් බැහැර කළ යුතුය. බලය විසින් සමාජීය පුද්ගලයා ගොඩනැගීම සිදු කරයි. අප සියලූ‍ දෙනා බලයට යටත් වන්නේ ස්වකීය කැමැත්තෙනි. මෙම නව බල යාන්ත‍්‍රනය තේරුම් ගැනීමේදී සමාජය තුළ ක‍්‍රියාත්මක ශික්ෂණ යාන්ත‍්‍රණය දෙස අවධානය යොමුකළ යුතුය.  

ශික්ෂණයේ මුල්කාලීන ඉලක්කය වූයේ ශරීරය ශික්ෂණය කිරීමයි. මේ සඳහා අපට සොල්දාදුවා යන රූපය උදාහරණයට ගත හැකිය. සොල්දාදුවාගේ ආඩම්භරකාරී  අනන්‍යතාව හරහා ඉතා හොඳින් ශික්ෂණය වූ ශරීරය අපට දුර සිටම හඳුනාගත හැකිය. මෙම ශරීරය කීකරු භාවිතාවක් සඳහා නිවැරැුදිව යොදාගත හැකි වන ලෙස නිර්මාණය කර ඇත. නවීන මානුෂික මිනිසා බිහිකිරීමේ දී ශික්ෂණ යාන්ත‍්‍රණය ආකාර කිහිපයකට ක‍්‍රියාත්මක වේ. පළමුව ශික්ෂණය සඳහා කොටුවක් අවශ්‍ය වේ. පාසල්, හමුදා කඳවුරු, විශ්වවිද්‍යාල, කර්මාන්ත ශාලා, සිරගෙය, රෝහල ආදිය ගොඩනැගීමේ දී මෙම ආකෘතියට අනුව ගෘහ නිර්මාණය සිදු කරයි. එමෙන්ම මෙම කොටු කිරීමේ අවකාශය නැවත කුඩා කොටස්වලට වෙන් කෙරේ. මෙම කුඩා කොටස් මඟින් ශික්ෂණ යාන්ත‍්‍රණය තුළ සිටින පුද්ගලයාව විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙන්ම පොදුවේ සියලූ‍ දෙනා පරීක්ෂා  කිරීමටත් තනි තනි පුද්ගලයන්ව පරීක්ෂා කිරීමටත් අවකාශයක් නිර්මාණය කරයි. දෙවනුව ශික්ෂණය මඟින් ක‍්‍රියාකාරීත්වය පාලනය කිරීම සිදු කරයි. කාලසටහනකට අනුව වැඩ කිරීමට පුරුදු කිරීම මේ සඳහා හොඳම උදාහරණයයි. එමඟින් පුද්ගලයාගේ ක‍්‍රියාකාරීත්වය දීර්ඝ භාවිතය මඟින් පාලනය කරනු ලබයි. තෙවනුව සම්භවය සංවිධානය කිරීම සිදුවේ. පුද්ගලයාගේ පැවැත්මේ කාලය සංවිධානය කිරීම මඟින් ශික්ෂණය කාර්යක්‍ෂමව සිදුකළ හැකිය. පාසල් කාලයේ සිට හමුදාව, ක‍්‍රීඩාව, කලාව ආදියට යොමුකර ගැනීම මේ සඳහා පුහුණු කිරීම සඳහා උදාහරණයකි. අවසාන වශයෙන් ශික්ෂණය මඟින් නිර්මාණය වන බලයේ සංයුතියද වැදගත් වේ. පාසලක එකම කාලයක දී විවිධ ශ්‍රේණිවල ශිෂ්‍යයන් විශාල පිරිසකට ඉගැන්වීම සිදුවේ. එමෙන්ම ශික්ෂණයේ දී ශරීරය පමණක් යොදාගැනීම ප‍්‍රමාණවත් නැත. ශරීරයට තවත් යන්ත‍්‍ර සූත‍්‍ර ආදිය සමඟ එක්ව කාර්යක්‍ෂමව ක‍්‍රියා කිරීමට  හැකි විය යුතුය.

ශික්ෂණය මඟින් ව්‍යාකුල, චලනය වෙමින් පවතින, ප‍්‍රයෝජනයක් නැති ශරීරය පුද්ගලයකු බවට පත්කරයි. මේ සඳහා නිවැරැුදි තාක්ෂණයක් ශික්ෂණ යාන්ත‍්‍රණයක් තුළ ක‍්‍රියාත්මක වේ. ශික්ෂණයේ දී පුද්ගලයාව සෑම විටම ධුරාවලියක නිරීක්ෂණයකට ලක්වේ. තනි දැක්මක් විසින් ශික්ෂණය වන සියලූ‍දෙනා නරඹමින් සිටිති. එමෙන්ම ශික්ෂණ යාන්ත‍්‍රණයක් තුළ එහිම වූ උසාවියක් සහ දඬුවම් ක‍්‍රමයක් ඇත. මෙම දඬුවම සිදු කරන්නේ නිවැරැුදි කිරීම අරමුණු කරගෙනය. පාසල් තුළ ක‍්‍රියාත්මක වන දඬුවම් කිරීම මේ සඳහා උදාහරණයකි. පුද්ගලයා පිළිබඳ දැනුම නිර්මාණය සඳහා දඬුවම උපකාරී වේ. ශික්ෂණයේ දී විභාග සහ පරීක්ෂණවලට මුහුණ දිය යුතුය. විභාගය විසින් දැනුම ගමන් කිරීම සහතික කරන අතර එය පුද්ගලයාගෙන් නැවත උකහා ගනී. තවද විභාග සහ පරීක්ෂණ හේතුවෙන් පුද්ගලයාව වස්තුකරණය වීමට ද ලක් වේ.

ශික්ෂණය මඟින් පුද්ගලයා බලයේ ඵලයක් මෙන්ම වස්තුවක් ලෙසද දැනුමේ ඵලයක් මෙන්ම වස්තුවක් ලෙසද නිර්මාණය කෙරේ. දේශපාලන අක්ෂය විසින් පුද්ගලකරණය සිදුවේ. ඒ අනුව වැඩිහිටියාට වඩා පාසල් යන ළමයා පුද්ගලකරණය වී ඇත. නිරෝගී මිනිසාට වඩා රෝගී මිනිසා පුද්ගලකරණය වී ඇත. සාමාන්‍ය මිනිසාට වඩා අපරාධකරු පුද්ගලකරණය වී ඇත. කෙනෙකුට ඉහත නිරෝගී අය පුද්ගලකරණය කිරීමට අවශ්‍ය නම් ඔවුන් කොයිතරම් දුරට රෝගීද, ළමයෙක්ද, අපරාධ කිරීමේ ආශාවක් සහිතදැයි සොයා බැලිය යුතුය.

අප සමාජයට ඇතුළුවීමේ දී ශික්ෂණ යාන්ත‍්‍රණයක් තුළ අනිවාර්යයෙන්ම ශික්ෂණයට ලක් වීම අත්‍යවශ්‍ය වේ. ව්‍යුහාත්මකව සිරගෙය, කර්මාන්තශාලා, රෝහල්, පාසල්වලට සමාන වන අතර ඒවා සිරගෙයට සමාන වේ. මේ අනුව සියලූ‍ම ශික්ෂණ ආයතනවලට ඇත්තේ එකම ව්‍යුහයකි. ඒවාට ඉහත සඳහන් කළ පොදු ලක්ෂණ පවතී. මෙම ආයතනවලට ඇතුළු වන සියලූ‍ දෙනා බල යාන්ත‍්‍රණයට ඇතුළු වේ. එය නිශේධනාත්මක දෙයක් නොවේ. බලය සහ එය විසින් නිෂ්පාදනය කරනු ලබන දැනුම නොමැති නම් පුද්ගලයාව නිර්මාණය නොවේ.

නමුත් අප සමාජය තුළ බලයට විරුද්ධ වන අවස්ථා අත්දකින්නෙමු.  රාජ්‍ය  අපව මර්දනය කරන බව සිතන්නෙමු. මෙය බලය පිළිබඳ සාම්ප‍්‍රදායික සිතීමේ ප‍්‍රතිඵලයකි. ගෝලීය ධනවාදය තුළ බිහිවන අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි වීම බඳු සුවිශේෂී අරගල යනු ධනවාදයේම  එක් කොටසක් පමණි. අධ්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධ වීම බඳු සුවිශේෂී රැුඩිකල් අරගලවලට එකතු වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යනු එක පැත්තකින් ශික්ෂණ යාන්ත‍්‍රණයක් තුළ ශික්ෂණය වෙමින් රාජ්‍යයෙන් යම් අනන්‍යතාවක් බලාපොරොත්තු වන පිරිසකි. ඔවුන්ම  අනෙක් පැත්තට රාජ්‍යයට විරුද්ධ වීම විසංවාදයක් ඇති කරයි. නමුත් සත්‍ය ඇත්තේ අප සිතන තැන නොවේ. ශික්ෂණ යාන්ත‍්‍රණයක් තුළ බිහිවන ආත්මයක විනෝද ආකෘතිය පිළිබඳ අවබෝධය අපට තවදුරටත් විසංවාදයන් ඉතුරු නොකරයි.

 

ඔබේ අදහස කියන්න...