දීර්ඝ සහ වෙහෙසකර වෑයම් විශාල ගණනකට පසුව දැන් නැවතත් අපගේ සංවිධානය සමඟ දේශපාලනය කිරීමට නව පරම්පරාවේ කොටස් විශාල වශයෙන් එකතු වෙමින් සිටිති. ලංකා ඉතිහාසයේ අපගේ සංවිධානය තරම් ඉදිරි දර්ශනයක් ගොඩනැඟීමට කාලය නාස්ති කළ සංවිධානයක් සමහරවිට වෙනත් තැනක නොතිබෙන්නට පුළුවනි. මාරි කියුරි සහ පියරේ කියුරි යුවල x කිරණ සොයා ගැනීමේ දී තම ජීවිතය ඊට වන්දි වශයෙන් ගෙවන ලදී. ලංකාව වැනි ඉතාම උණ සංවර්ධිත සමාජ න්‍යායක් ඇති රටක න්‍යායික වර්ධනයක් වෙනුවෙන් ජීවිතය කැප කිරීම ද සළකා බැලෙන්නේ විකාරයක් සහ උමතුවක් ලෙසිනි. හසළක වීරයා ගැන ද සමහර මිනිසුන් කියන්නේ ඔහු ස්වකැමැත්තෙන් බෝම්බ සමඟ සන්නාහ රථයකට පැන්නා නොව ඔහුව කිසිවෙකු තල්ලු කළා කියා ය.

                         කොහොමටත් ලංකාවේ බැරෑරුම් වැඩ ගැන කවට කතා ඕනෑ තරම් ගොඩ ගැසී ඇත. කට කතා සහ අවලං කතා වැලැක්වීමට කිසිවෙකුට මුහුණුපොත් යුගයේ නොහැකි ය. අපගේ සංවිධානය ගැනත් පුද්ගලිකව මා සම්බන්ධයෙනුත් විවිධ කටකතා සමාජයේ පවතියි. ඒවායේ මුලාශ්‍රයන් බොහෝවිට අපගේ ම සංවිධානයේ පැරණි සාමාජික සාමාජිකාවන් ගොඩනඟන ලද ඒවා ය. ලංකාවේ ඇති වෙනත් වාමාංශික සංවිධානවලට වඩා අපගේ සංවිධානය තුළ හිතන-පතන දේ කියන්නට  නිදහස ඇත. මේ හේතුව නිසාම අපට අලුත් ගැටලුවක් හමු වී ඇත. බාහිර සතුරෙකු මැවීමක් සංවිධානය තුළ සිදු නොවන නිසා යම් පිරිසක් බාහිර සතුරා ලෙස මාව ම තෝරා ගෙන ඇත. අවශ්‍ය නම් මෙම තත්ත්වය සංවිධානයේ ”අතිරික්ත විනෝදය” ලෙස ද සලකුණු කිරීමට හැකිය. අපගේ සංවිධානය ඇතුලේ සංවිධානය කිරීමේ ගැටලුව ලෙස ”මාව” බාධාවක් කොට ගැනීම සුභ සහ යස සහ ජාතික නාට්‍ය අන්තර්ගතය හරහා වටහා ගැනීමට හැකිය.

                             වරක් ඩුබායි හි සේවය කරන අපගේ පක්ෂයට ඓන්ද්‍රීයව උදව් කළ හිතවතකු (මංජුල ලියනගේ) මගේ මුහුණ ඉදිරියේම මෙලෙස විවේචනයක් කරන ලදී. “සහෝදරයා අපි සංවිධානය හදන්න දෙවෙනි පාරත් උදව් කරා. සහෝදරයාට සංවිධානය බේරගන්න බැරිවුණා. මොකක්ද මේ විහිලුව”. ඔහුගේ එම චෝදනාව හමුවේ නිහඬ වීම (2014 අග) හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැත.                                                           

අපගේ ව්‍යාපාරයේ පැරණි කොටස්කරුවන්ට අනුව X දේශපාලනය යනු ‘කදිම අත්හදා බැලීමකි’. එය 2004  වර්ෂයේ දී අවසන් විය. දැන් අප ජීවත් වන්නේ වෙනත් යුගයක ය.                             

මංජුලට යම් උත්තරයක් ගොඩනැගීමේ දී ඉහත අටුවම් බසින ලද ආචීර්ණකල්පිත අදහස විසංයෝජනය කළ යුතුය. 21 වැනි සියවසේ මුල දී ශ්‍රී ලංකාවේ යුද හමුදාව යුද්ධයේ ගුරුත්ව කේන්ද්‍රය නැගෙනහිර යයි කියන විට ශිවරාම් කීවේ එසේ නම් යාපනයේ හමුදා කාලතුවක්කු සියල්ල වන්නිය දෙසට දිශානත කර ඇත්තේ මන්ද යන්න ය. එපරිදිම මට අසන්නට ඇත්තේ කුඩා ප්‍රශ්නයකි. ලංකාවේ අධිපති කතිකාවට ඇතුල් වීමට දඟලන සියලු දෙනා (සිතුමිණ රත්නමලල සිට ඉස්සර අහිංසක නළුවා සෞම්‍ය ලියනගේ දක්වා) තමන්ගේ තුවක්කු මා දෙසට එල්ල කර ඇත්තේ මන්ද? ඔවුන්ගේ උගුරේ හිර වූ කට්ට මා වී ඇත්තේ මන්ද? 

                        මා කරන දෙය පිළිබඳ යම් ප්‍රවාදයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයා (බොහෝවිට පිරිමි) මා කරන දෙය සන්දර්භගත කළ යුත්තේ ‘ශල්‍යකර්මීය ක්‍රියාවක්’ (Surgical Operation) ලෙසින් මිස අත්හදා බැලීමක් හෝ පර්යේෂණයක් හැටියට නොවේ.   

                                            උදාහරණයක් ලෙස, මම කරන දේශපාලනය අත්හදා බැලීමක් ලෙසින් වටහා ගත් පුද්ගලයෙකු දෙවනුව කරන්නේ ඔහු කරන දේශපාලනය යාවත්කාලීන (Update) කිරීමයි. ඒ අනුව ඒ පුද්ගලයා මගේ දේශපාලනය නිශ්චිත කාලානුරූපය ක ට සකස් කර මෙවැනි සහසම්බන්ධ ප්‍රති- පක්ෂයක් ගොඩ නඟයි. ඔහුගේ දේශපාලනය තත්කාලීන ය/ දීප්තිගේ දේශපාලනය අතීතයට අයිති එකකි. මහේක්ෂ දේශපාලනය සමඟ පසුගිය වසර 5ක කාලයක් වැඩ කිරීමෙන් මා ලද අවබෝධය වන්නේ, සංස්කෘතික දේශපාලනය මහා සම්මතය තුළ කොටසක් නොවන බවයි. තවදුරටත් මා කරන දේශපාලනය සංස්කෘතිය තුළ බහා විග්‍රහ කිරීම මගේ පැත්තෙන් උත්තේජනයක් නැති වැඩකි.

            මා ලංකාවට හඳුන්වා දුන් ‘ශල්‍යකර්මීය ක්‍රියාව’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? බාහිර ලෝකය, යථාර්ථය, දරිද්‍රතාවය වැනි ගැටලු සංකීර්ණ දේශපාලන ගැටලු නම් සහ දේශපාලන මතවාදයන් සංවිධානය කරන තීරණාත්මක සංඝටක නම් ජනතා විමුක්ති පෙරමුණ හෝ පුබුදු-කුමාර් ලැයිස්තු පක්ෂය මේ වන විට බලය ලබා ගෙන හමාරය. අප ජීවත්වන යුගයේ ජාතිකත්වය ධනවාදය මෙහෙයවන පාලක දෘෂ්ටිවාදය බවට පත්වී ඇත. මෙසේ වන්නේ මන්ද? සමකාලීන දේශපාලන පක්ෂ මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරමින් සිටිනවා ද? නැත. න්‍යායගත කිරීමට අවශ්‍ය වන්නේ, ආපතිකත්වය යි[contingency-අවිනිශ්චිතතාව-No Big other] .

            ”ශික්ෂණ රෝහල” යනු , විශේෂ වර්ගයක රෝහල් බව වෛද්‍ය විද්‍යාව ගැන අවබෝධයක් ඇති අය දනිති. එවැනි රෝහලක සිදු වන්නේ, වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කිරීමට රෝගීන්ව යොදා ගැනීමයි. මහාචාර්යවරයාගේ වාට්ටුව යනු, මෙහි නාම පදයයි. මෙතෙක් හඳුනා නොගත් රෝගවලට ප්‍රතිකාර කිරීම හඳුනා ගන්නේ මෙම සායනික අවකාශය තුළදී ය. ශික්ෂණ රෝහලක වැදගත්ම මහාචාර්යවරයා යනු, මොළය සහ ස්නායු වලට අදාළ පුද්ගලයාය. විශේෂඥ වෛද්‍යවරුන් අතරින් වඩාත්ම දියුණු සහ අපහසුම දැනුම ලබන්නේ ස්නායු පටක වලට අදාළ විශේෂඥ වෛද්‍ය ශිෂ්‍යයන් ය. ලංකාවේ බොහෝවිට මොළය සහ ස්නායු වලට අදාළ ශල්‍යකර්ම වෛද්‍යවරුන් කරන්නේ නැත. රෝගීන්ට මිය යාමට ඉඩ දෙන්නේ එවැනි ශල්‍යකර්ම පිළිබඳ වගකීම භාර ගැනීමට වෛද්‍යවරු බිය නිසා ය. ඒ අර්ථයෙන්, ලංකාවේ ‘පර්යේෂණ රෝහලක්’ (Research Hospital)  නැත. 

  ”මිචෙල් ෆූකෝ”[French Philosopher and sociologist] සිය ‘බලය/දැනුම’ යන කෘතියේ දී දේශපාලන න්‍යාය ගැන ඉතාම වැදගත් ඛණ්ඩනයක් ලකුණු කරයි. ඔහු තම අදහස මෙලෙස සාරාංශගත කරයි. “රජතුමාගේ හිස ගිලටීනය මඟින් කපා වෙන් කරා වගේ අපගේ අධ්‍යයන ක්ෂේත්‍රය වන ‘දේශපාලන න්‍යාය’ තුළත් එයම සිදු කිරීමට නියමිතව ඇත”. ෆූකෝ මින් අදහස් කරන්නේ, ධනවාදයට තම පාලිතයන් පාලනය කිරීමට උත්තරීතර මිනිසෙක් (දෙවියෙක්, නායකයෙක්, පියෙක්, පූජකයෙක්, ගුරුවරයෙක්, මාස්ටර් කෙනෙක්) අවශ්‍ය නොවන බවයි. එම කටයුත්ත භෞතික පරිවර්තනයකට පත් වූ අදහස මඟින් ඉටු වෙයි. පුළුල් අර්ථයෙන්, අදහස් භෞතික තත්ත්වයට පත්වීම ‘දෘෂ්ටිවාදය’ යන සංකල්පයෙන් අදහස් වේ. ඉහත ඛණ්ඩනය හොඳින් කියවා ගත් කිසිදු මහාචාර්යවරයෙක් ඉතාම හොඳින් දන්නවා ධනවාදය පාලනය කරන්න පූජනීය පුද්ගලයෙක් අදාල නැති බව. මේ අර්ථයෙන් ගත්තම, මම කිසිම විටෙක මෙම ‘උත්තරීතර භූමිකාව’ රඟපාන්න උත්සාහ කරන්නේ නැහැ. එය වෙනත් අය මට ආදේශ කරන දෙයකි. මේ හේතුව නිසා, ෆූකොට පසුව එන දේශපාලන න්‍යායධරයන් අවිඥාණකව හැර පරම ආධිපත්‍යයක් විද්‍යාමාණ කරන්නේ නැත. මේ සන්දර්භය තුළ ‘හෙජමොනිය’ කියන්නේ, නායකත්වයක් නැතිව පාලනය වන සමාජ යාන්ත්‍රණයකට නාභියක් සවි කරන එක නොවේ.       

ඉහත සන්දර්භය තුළ ධනවාදය පාලනය කරන නායකත්වය යන හැඟවුම්කාරකය අයිති පාරභෞතික ක්ෂේත්‍රයට ය. මීට කලින්, මංජුල ලියනගේ අහන ප්‍රශ්නය යල්පැන ගිය යුගයකට අයිති දෙයකි. උදා:- දෙමළ අරගලය වෙනුවෙන් සිංහල භාෂාවෙන් ලියපු මාධ්‍යවේදියෙක් මේ දවස්වල හොයා බලනවා තමන්ගේ බිරිඳගේ මල්ලිගේ පවුල ස්විස්ටර්ලන්තයට ගෙන්වා ගැනීමේ පථයක්. මේ අර මම කියපු පාරභෞතික ක්ෂේත්‍රය යි. ගරිල්ලා යුද්ධයක් මෙහෙය වනවා කියා සපථ කළ ගරිල්ලා නායකයෙක් වියානා නුවර සිංහල තේ කඩයක් දමයි. මේ විරුද්ධාභාසය මංජුලගේ මනසට දිරවගන්න බැරි ඝන ආහාරයකි.

                                        දැන් මට මංජුලට වෙච්ච දෙය පැහැදිලි කරන ප්‍රවාදය (ජාතිවාදීන්ට අනුව කතාව) මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. සිංහල මිනිසුන්ව ශල්‍යකර්මීය මේසයක් මත තබා න්‍යායික අවි වලින් ඔවුන්ගේ මොළය විච්ඡේදනය නොකර ඔවුන් රජා ඝාතනය කරාට පස්සේ ස්වයංව පාලනය (ස්වයං-පාලනයේ ආත්මීය තලය- self-invented rules-) වන අවිඥාණක විශ්වාසයන් විශ්ලේෂණය කරන්න බැහැ. ඉස්පිරිතාලයේ අධ්‍යක්ෂක මම වුවත් මම රාජකාරි කරන්නේ ශල්‍යාගාරය තුළ පමණයි. මම බලන්නේ ඒ තුළ පවතින පරිසර පද්ධතිය විතරයි. ඉස්පිරිතාලයේ පිළිගැනීමේ අංශය, බාහිර රෝගී අංශය, ආහාර බෙදීම, කැලි කසළ ඉවත් කිරීම වෙනත් අයට බාර දුන්නෙමි. මංජුල ලියනගේ වගේ සරලමතිකයන්ට දෙවියන් නැති සමාජයක පවතින පක්ෂ ව්‍යුහයක ගෘහ නිර්මාණය අවබෝධ කර ගන්නට බැරි විය. ඔවුන්ට මරණ පරීක්ෂක සහ ශල්‍ය වෛද්‍යවරයා අතර වෙනස පවා කියවා ගැනීමට නොහැකි විය. ප්‍රංශ ප්‍රියන්ත බෝවන රෝග සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සමඟ මොළය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥයා පටලවා ගන්නා ලදී. වෛද්‍ය රුවන් කුමාර රෝහලේ මලාපවන වාහනයේ රියදුරු සමඟ OPD දොස්තරව පටලවා ගන්නා ලදී. මේ පටලවා ගැනීම හුදු ඥාණයට අදාළ අංශයක් නොවේ. මේ වරදවා වටහා ගැනීම ආත්මීය එකකි. ඔවුන් වරදවා වටහා ගත්තේ අනුන්ව නොව තමන්වම ය. ගොදුරු සමඟ අනන්‍ය වීම කියන්නේ විප්ලවවාදී දේශපාලනය නොවේ. 

                      මොළය පිළිබඳ ශල්‍යාගාරයක ප්‍රධානියා ඉතාමත් සූක්ෂම ලෙස කළමනාකරණය කරන්නේ, ආත්මය නම් සංඝටකය හරහා මොළය මත සටහන්ව ඇති භෞතිකය විසින් මිනිසුන්ගේ අවිඥාණය මෙහෙයවන ආකාරය යි. මොළය පිළිබඳ මහාචාර්යවරයා යනු, මිනිසාගේ ‘විනෝදය’ පැහැර ගන්නා ආකාරය සහ විනෝදය තර්ජනයට ලක් කිරීම ක්‍රමවත්ව අධ්‍යයනය කරන්නා ය. දැන් අපගේ දේශපාලන සංවිධානයේ ගෘහ නිර්මාණය ඔබට වැටහෙනවා ඇති. මේ තත්ත්වය අලුත් පරම්පරාව හොඳින් වටහාගෙන තිබේ. ඔවුන් අහන්නේ නායකයා ගැන නොව කොහොමද සමාජීය වශයෙන් අශ්ලීල විනෝදය කළමනාකරණය කරන්නේ කියලා ය. සරලව කිවහොත්, ඔවුන් පක්ෂයට එන්නේ විනෝද වීමට නොව විනෝදය විචාරය කිරීමට ය.                               

දැන් අපේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉඩකඩ ඇති, යාමට ඒමට පහසු තැනකට ගෙනැවිත් තිබේ. අලුතින් එකතු වීමට කැමති අය පහත ෆෝරමය පුරවා එවන්න! කලින් එවන ලද අය යළිත් එවීම අනවශ්‍යයි. මේ දිනවල අපි දෙවන කණ්ඩායම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමිනුයි ඉන්නේ. මොළය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයා මොළය පිළිබඳ සංකීර්ණ ශල්‍යකර්මයක් කරමින් සිටින විට රෝහලේ පඩි සල්ලි මංකොල්ල කෑමට තවදුරටත් ඉඩක් නැත. දැන් අලුත් රෝහලට CCTV  කැමරා සවි කර ඇත. සුභ/යස නාට්‍ය සඳහා නැවත තිරය ඇරෙන්නේ ද නැත.                         

ලංකාවට ආපු වෙලාවක මංජුල, ප්‍රියන්ත එන්න මාව හමුවන්න!   

Deepthi

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

 

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...