No More July නාමයෙන් පසුගිය 23 දින විහාර මහ දේවි එළිමහන් රංග පීඨයෙදී සිදු වූ ඓතිහාසික අමන, තකතීරු සිදුවීම් ජාලය අප තරයේ හෙළා දකිමු. රාජපක්‍ෂවාදී වත්මන් ලාංකේය යුග මොහොත තුළ ජාතිවාදී/වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය අත්කරගෙන ඇති සුවිශේෂී සංයුක්ත තත්තවය පිළිබඳ කිසිදු විශ්ලේෂණයකින් තොරව සංවිධානය කළ මෙම ඊනියා සංස්කෘතික ප‍්‍රදර්ශනය නිමා වූයේ ජුගුප්සාජනක කළකිරීමක් අප තුළ ශේෂ කළ බව සිහි කැඳවන්නේ අපුලකිනි. අලූත්ගම-බේරුවල පැන නැගි ගිනිජාලා පදනම් කරගෙන අප කළ න්‍යායික විශ්ලේෂණය රැගත් පොත් පිඬ සමාජගත කිරීම හා ලාංකේය ඊනියා විකල්ප කලා/සංස්කෘතික ක්ෂේත‍්‍රයේ ඇති චින්තන දරිද්‍රතාවය විවේචනයට ලක් කරමින් සිදුකළ යුතු අරගලය ගැන පත‍්‍රිකා බෙදාහැරීමක් සඳහා එම ස්ථානයට පැමිණි අපි එහිදී කළු ජූලියට එරෙහි කලා/සංස්කෘතික විරෝධයක නාමයෙන් සංවිධානය කර තිබූ සිදුවීම්-අවස්ථා දැක විමතියටත්, කළකිරිමටත් පත්වීමු. එනයින් මෙම අවස්ථාව අවසානයට පත් වූ අයුරු අනපේක්‍ෂිත නොවන බව අපගේ ඉඳුරා විශ්වාසය යි.

කළු ජූලිය ඇති වූ සංයුක්ත සමාජ දේශපාලන මොහොත හා වත්මන් සිංහල-බෞද්ධ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය මුදා හැරෙන උපායමාර්ගික දේශපාලන සැකැස්ම පිළිබඳ පඩයකවත් දැනුමකින් තොරව නරුමවාදී නොදැනුමකින් යුතුව මෙම සංවිධායක මුග්ධ රැල විසින් (ජාතීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ සාධකයේදී මතවාදී විනයක් අඛණ්ඩව නඩත්තු කළ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සොයුරිය හා පීඩිත ජනවර්ගය පිළිබඳ ප‍්‍රශ්නය ගැන අඛණ්ඩව න්‍යායිකව සංවේදී විරාජ් ලියනාරච්චි සොයුරා දක්වන නියෝජිත මුහුණුවර අපට අපැහැදිලිය) සැකසූ මෙම වැඩසටහන නිසා ප‍්‍රති හෙජමොනික දේශපාලනික පරිකල්පනයන් ගොඩනැගීමේ ප‍්‍රයත්නයන්ට සිදුකළ හානිය සුළුපටු නැත. මිනීකඳු, රුධිර ගංඟා ගලා ගිය ඉතිහාසයක් මත සිට තිරිසන් විපරීත නර්තන ප‍්‍රමෝදයන් හා තැනින් තැන විවිධ සාදයන්ගෙන් කළ සැමරීම විසින් අපට ගෙන හිරිවැටෙන සුළු ත‍්‍රස්තයක් දෙසටය.

පවත්නා හිංසක, වර්ගවාදී දේහපාලන වර්ගවාදී බලාධිකාරයන් හා සත්‍යාධිකාරයන් අලූත් වටයකින් ශක්තිමත් කරන හා පෝෂණය කරන මෙවැනි කුප‍්‍රකට මැදිහත්වීම් අපි ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ ලෙස නැවත වරක් තරයේ හෙළා දකිමු.

අප අවසාන වශයෙන් කියන්නේ No More July කියාය.

මෙයට
සංස්කෘතික විමුක්ති ගිවිසුම වෙනුවෙන්,
විදර්ශන කන්නන්ගර / ප‍්‍රභාත් හේමන්ත

ඔබේ අදහස කියන්න...