ඒ 2004 දෙසැම්බර් 26 වැනිදාය. සොනාලි දැරණියගල සිය සැමියා ස්ටීවන් ලිසෙන්බර්ග් සහ අටහැවිරිදි ‘වික්’, පස් හැවිරිදි ‘මල්’ පුතුන් ද සිය මවිපියන් ද සමඟ යාල සංචාරයක නිරතව සිටියාය. ඇගේ මිතුරිය ඕලැන්තා සහ ඇගේ දෙමාපියන් සමඟ එහිදී හමු වූයේ අහම්බෙනි. දින හතරක සංචාරය නිමවා යාලෙන් පිටත්වීමට ඔන්න මෙන්න තිබියදී සොනාලි සමඟ හොටලේ කොරිඩෝවේ කයියක් ගසමින් සිටි ඕලැන්තා එකවර කීවේ ‘දෙයියෝ සාක්කි අන්න මුහුද එනවා’ කියාය. පරිසර ලෝලියක ලෙස නිරන්තර තැන තැන ඇවිද ඇති සොනාලි එය මුලදි එතරම් තැකුවේ නැත. එය විශාල රළක වකයක් පමණි. ඇයට ඕනෑ වුණේ එය සිය සැමියාටද පෙන්වීමටයි.

එහෙත් ඊළඟ මොහොතේ සොනාලි සිය දරුවන්ද රැගෙන දුවන්නට වූවාය. ඔවුහු සියල්ලෝ දිවූහ. සිය දෙමව්පියන්ගේ කාමරයේ දොරට තට්ටුවක් දමා දැනුම් දෙන්නට ඉසිඹුවක් නොතබා ඇය දරුවන් රැක ගන්නට දිව්වාය. වේගයෙන් යන ජීප් රථයක් නවතා දරුවන් ද එතුළට විසි කර ඔවුන් ද එල්ලුනි. සමහරු ඉන් වැටුනද ඒ ගැන සිතන්නට වෙලාව නැත. දරුවන් දෙදෙනා තුරුල් කරගත් සොනාලි, ස්ටීව් සහ තවත් කවුදෝ රැගත් ජීප් රථය ඉදිරියට ඇදෙද්දී මින් පෙර කිසි දිනක ස්ටීව්ගේ මුහුණේ නොදුටු භයංකර පෙනුමක් සොනාලි දුටුවාය. එහෙත් ඒ කුමක් නිසාදැයි හැරී බලන්නට ඉඩක් ඇයට නොවීය. ඒ එසැණින් ඔවුන් ගමන් ගත් ජීප්රිය නොපිට පෙරළුණු බැවිනි.‍ ඒ මොහොතේ සිට ඇගේ ජීවිතය…

“සමහර විට ස්ටීව් මගේ පිටිපස්සෙන් ඒ විශාල රැල්ල දකින්න ඇති. ඒකයි එයාගේ මූණ වෙනස් වෙන්න ඇත්තේ.”

වසර දහයකට පසු ඇය කියන්නේ එසේය. ඒ විශාල රැල්ල ඈ සත් සියල්ල රැගෙන ගියේය. ඇය තනි කළේය. ඇය සිහියෙන් සිට බව ඇය කියන්නීය. එහෙත් කවුදෝ නන්නාඳුනන අයකු ඇය දකින විට ඇය සිටියේ ‍පොඩි දරුවකු කිරිකිරි බෝලේ කැරකෙන්නා මෙන් මඩ වගුරක තනිවම කැ‍රකෙමිනි. ජීවතුන් අතර සිටින්නන් ‍‍‍බේරා ගත් පසු මිය ගිය අයගේ දේහ එකිනෙක ගොඩ ගසන හැටි ඇය බලා සිටියාය.

“ඒ ගොල්ලන් කොහේ හරි ඇති. සමහරවිට මාව හොයනවා ඇති. ඒ අය නැත්නම් මම ජීවත්වෙලා මොකටද? ඔක්කොම මිනී ගේනකල් බලලා මමත් දිවි නසා ගන්නවා.”

එසේ සිතුවද ඇයට දෛවය මිය යෑමට ඉඩ දුන්නේ නැත.

කොළඹ පදිංචි ඉහළ මධ්‍යම පන්තියේ පවුලකට අයත් සොනාලි දැරණියගල කොළඹ කාන්තා විද්‍යාලයේ ඉගන ගත් තැනැත්තියකි‍. ඉන් පසු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරුවාය. එහෙත් ඇය බෙහෙවින් ප්‍රිය කළේ කේම්බ්‍රිජ් සරසවියේ අලුත් මිතුරන් සමඟ අලුතෙන් හඳුනාගත් වාමාංශීක දේශපාලනය ගැන, ධනවාදයේ කඩා වැටීම ගැන නිදිවරාගෙන සාකච්ඡා කිරීමටය. මාර්ග්‍රට් තැචර් ගේ පාලනයට එරෙහි කේම්බ්‍රිජ් සිසු සංගමය පැවැත් වූ විරෝධතාවකදී ඇය හිඳගත්තේ තැචර් රජයේ නියෝජ්‍ය අගමැති වූ ශ්‍රීමත් ජෙෆ්රි හෝවේ ට බිත්තර ගැසූ කොල්ලෙකු ළඟය.

ගොඩේ ට්‍රක් රථ රියැදුරෙකුගේ පුතෙකු වූ ස්ටීවන් ලිසෙන්බර්ග් දැඩි කැපවීමෙන් කේම්බ්‍රිජ් සරසවියට පැමිණියෙකි. සොනාලිගේ පවුලේ එකම පැතුම වූයේ ඇය සුද්දෙකුට හසු නොවීමය. එහෙත් සොනාලි මෙන්ම ස්ටීව් ද එක විදිහට සිතන්නෝය, සොබාදහම අගයන්නෝය. අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වූ මුල් කාලයේම කළේ කබල් වෑන් රියකින් රට පුරා රෝන්දේ ගැසීමය. දරුවන් දෙදෙනා සමඟ ද ඔවුන් කළේ ඒ රටේත් මේ රටේත් සොබා දහම විඳීමට වැඩි කාලයක් යෙදවීමය.

යාල, සොනාලිට කිසි විටෙක අමුතු නොවූයේ ඇය බහ තෝරන කාලයේ සිටම මව්පියන් සමඟද නිතර ආ ගිය නිසාය. ඔවුන් නැවතී සිටි හෝටලය ටිකෙන් ටික දියුණු වූ අයුරු පවා ඇයට මතකය. ජීවිතයට එතරම් සමීප පරිසරයකදීම ඇයට දෛවය සරදම් කළ අපූරුව! ඇයට හඬන්නේ ද නැත. කිසිවෙකුටත් තම වේදනාව කියන්නේද නැත. අපායෙන් ආවා වැනි මඩ කරිජ්ජ පෙවුණු පසු ජීවිතයේ අහිමිවීම් නිසා තමන් පත් වූ පීඩාව දරා ගැනීමට ඇය නොයෙක් විකාර කරමින් තමන්ගෙන්ම පළි ගත්තා වැන්න. එහෙත් සිය යාළු මිත්‍රයින් හා නෑදෑයින් ඇය රැක බලා ගන්නට‍ වෙහෙසුනි. පසුවය ඇයට සිය මනෝ උපදේශක මාක් එප්ස්ටීන් හමුවන්නේ. ඔහු ඇය උනන්දු කළේ ඇගේ මතකය ඔස්සේ යමින් ඇය වියරු කළ ඒ සත්‍යයට මුහුණ දෙන්නටය. ඒ ගැන සොනාලි මෙසේ කියන්නීය.

“මම පිටස්තරයන් එක්ක මේ කතාව බෙදා ගත්තේ එක සීමාවකට විතරයි. කාගේවත් මුහුණ ඇද වෙනවා දකින්න මම කැමති වුණේ නෑ. මොකද මට ඒක ඊට වඩා දැනෙනවා. මේ පොත මම ගොඩාක් කල් ලීවා. ටිකෙන් ටික මට සිදු වුණු ඇත්තට තව දුරටත් යථාර්ථයක්‍මයි කියලා ඒ වෙලාවට දැනුණා.‍”

“මම පටන් ගත්තේ ජල ස්කන්ධය, මම ඒ තුළ හිටිය ආකාරය ගැන කියමින්. මට ඕනෑ වුණා ටිකෙන් ටික මේ ගැටලුව ලිහා ගන්න. මම ඇත්තටම හිතුවා ඒ හීනයක් කියලා.හරිම අවුල් සහගත දෙයක්. මම කවදාවත් සුනාමි කියලා වචනයක් එහෙදි වත් මෙහෙදිවත් අහලා තිබුණේ නෑ. ඒ නිසා මට ඒ වෙලාවේ සිහිය තිබුණට මේ වෙන්නේ මොකක්ද කියලා මට තේරුණෙත් නෑ, මට මතකයි මාව පස්ස පැත්තෙන් පාවුණු හැටි. උඩ බලද්දි කොක්කු රෑනක් ඉගිලෙනවා. මට හිතුණා චිත්‍රයක් වෙන්න ඇති, අපේ පවුලම ඒ කොක්කු අතරෙ පාවෙන්නේ කියලා.”

සොනාලිටද අප සියලු දෙනාට මෙන්ම සුනාමිය ආගන්තුකය. ඊටත් වඩා දයාබර සැමියාගෙන් හා සෙනෙහෙබර පුතුන් දෙදෙනාගෙන් ලද ආදරය අහිමි වීම, මව, පියා තමන් සමඟ මොහොතකට පෙර සිටි සියල්ලන්ගේ අතුරුදන් වීම අදහාගත නොහැකිය.

“මට හැම දේම තිබුණා, මට හැම‍දේම නැති වුණා. ඒ ජීවිතයේ හැම මතකයක්ම මාව බියපත් කළා. සිලි බෑග් එකක්, සේදුම් දියරයක් පවා මට ගෙනාවේ මිහිරි මතකයක අමිහිරි අහිමිවීමක්. මම සාප්පුවකටවත් ගියේ නෑ, මොකද ඒ හැම කුළුණක් ගානෙම ස්ටීව්ගේ, චූටි පුතාලාගේ සටහන් මට මැවෙනවා. ඒත් ඒ අහිමිබව දැනෙද්දි එය වළක්වනවාට වඩා විඳවීම මට හොඳයි කියලා හිතෙන්න ගත්තා. මට ඒ අයගේ ආදරය දැනෙන්නේ ඒ වේදනාව විඳිනකොටයි. ”

“ටිකෙන් ටික ලියාගෙන යද්දි ඒ මතකය දරාගන්න මම හුරු වුණා. මම හොඳට ලියන්න උත්සාහ කළා. මම මගෙන්ම ඇහුවා මට පේලි දෙකක් ගලපගන්න බැරිද ඔච්චරට කියලා. මම ලියූ හැම දෙයක්ම මගේ ජීවිතේ හා සම්බන්ධයි. මුලින්ම මගේ දරුවන් ගැනයි මම ලීවේ. එතැන ස්ටීව්වත් මගේ අම්මලාවත් නෑ, මට එක පාරකට අල්ලගන්න පුළුවන් එක දෙයයි. කාලයක් යද්දි මට තේරුණා මට ඒ හැම අහිමිවීමක්ම දරාගන්නවාට වඩා අල්ලාගන්න පුළුවන්, ලෝක දෙකේම ජීවත්වෙන්න කියලා.”

මේ සෑම දෙයක්ම ඇය ලීවේ විශේෂිත වූ ස්ථානයකදීය. එය ඇය අනිවරණය කරන්නේ මෙසේය.

“නිව්යෝක්වල මගේ පොඩි ගේ කෑල්ලක අටව්වක් වගේ ඇඳක් තියෙනවා. ඒකේ මුල්ලක ඝන පොරෝනයක් අස්සට වුණාම මට ඒ හැම දෙයකම මතකය යළි විඳිමින්, ඒ අයගේ මුහුණු දකිමින් ලියන්න පුළුවන්. එය මහා කායික මානසික වදයක්‍. නමුත් එයින් මම ඒ අය සමඟ ඉන්න නිසා එයින් උද්දාමයට පත් වෙන නිසා මට ඒක හොඳයි. ”

“මාව සංහිඳියාවට පත් කරන්නෙත් ඒ මතකය මයි. මගේ දරුවන් මගේ ස්ටීව් අම්මා තාත්තා අමතක කරනවා කියද්දි දනහිස් වෙව්ලන තරම් දැනෙන භීතියට වඩා මතකය විඳවීම කියන්නේ පෙරළුණු අත හොඳයි කියනවා වගේ දෙයක්. මොකද සත්‍යය දැන ගැනීම හා එයට මුහුණ දීම තමයි මගේ පැවැත්ම. කොතරම් අපහසු වුවත් එයින් පැනයාමට වඩා එහි ජීවත්වීම හිතට සැහැල්ලුවක්. ”

සුනාමි ව්‍යසනය දරාගන්නට ඇයට ඉවහල් වූ පොතක් ද තිබේ. ඒ පීටර් මැතියසන්ගේ ‘ද ස්නෝ ලෙපඩ්’ කෘතියයි. එය ඇයට වේදනා නාශකයක් බඳු වී යැයි සොනාලි පවසයි. මයිකල් ඔන්ඩච්චි ඇයට මේ පොත ලිවීමට අනුබල දී ඇත. ඇය දැන් ලේඛිකාවකි. සුනාමියට පරදවන්න බැරි වූ දිරිය කාන්තාවකි. ඇයගේ ලේඛනය තවත් ඉදිරියට යයිද?

“මම ලියන්න ආසයි” සොනාලි කියයි.

“එය මට සහනයක්. ඒත් මම ලියනවානම් මගේ සුපුරුදු තැන ඉන්න වෙයි. මම දන්නේ නෑ ආයෙත් පොතක්ම ලියයිද කියලා. ඒත් මට මේ හැමදේම අතහැරලා අධයයන කාර්යයන්වලට කොටු වෙන්න බෑ.”

ඇය එසේ කියන්නේ වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥවරියක් ලෙස සේවය කර සුනාමි ව්‍යසනයට මුහුණ දුන් පසු ඇය පශ්චාත් ස්වභාවික විපත් ආර්ථිකය පිළිබඳ පර්යේෂක වරියක් ලෙස කටයුතු කරන බැවිනි.

“මම සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක්. සුනාමියට කලින් දුප්පත්කම සහ ආර්ථිකය නිසා ඇතිවන සිවිල් ගැටුම් ජනතාවට බලපාන ආකාරය ගැන කටයුතු කළා. දැන් මම කරන්නේ ස්වභාවික උවදුරු විශේෂයෙන් දුප්පත් ජනතාවට බලපාන ආකාරය ගැනයි. මම අධ්‍යාපනය, සාක්ෂරතාව, මානව ස්වර්ධනය හා සමානාත්මතාව එයට බලපාන හැටි පර්යේෂණ කරනවා. සුනාමියෙන් පසු ශ්‍රී ලංකාව හා 2008 බුරුමයේ ඇතිවුණු සුළි සුළං නිසා විපතට පත් වූවන් ගැනයි මම පර්යේෂණ කරන්නේ.”

ඇය ලියූ ‘Wave‘ මතක පොතට The PEN/ Ackerley සම්මානය හිමි විය. එය පළමුවරට මතක සටහන් සහ ස්වයං චරිතාපදාන සඳහා සම්මාන පුද කළේ 1982 දීය. මෙම සම්මානය පිදෙන්නේ ‘ද ලිස්නර්’ සඟරාවේ සංස්කාරකවරයකු වූ ජෝ රැන්ඩල්ෆ් ඇකර්ලි අනුස්මරණය කරමිනි. සම්මානය ඇය දකින්නේ මෙසේය.

“මේ වගේ වැදගත් සම්මානයක් ලැබීමෙන් අරගලයක තිබෙන සුන්දරත්වය පිළිබඳ තවත් දෑසකින් දකින ආකාරය කියැවෙනවා. මම මගේ ජීවිතයේ සිටින ලේඛීකාව සොයාගත්තා. එය මගේ අතිශයින් අවුල් සහගත ජීවන ගමනේ තවත් හඳුනා ගැනීමක්. ”

ඇයගේ වේව් ග්‍රන්ථය ‘රළ’ නමින් සිංහල‍ට පරිවර්තනය කළේ මාලිනී ගොවින්නගේය. සුනාමිය අපට තැබූ මතකය සමඟ මේ පර්වර්තනයේදී ඇයගේ අත්දැකීම කෙබඳු වීද?

“මම යමක් වින්දොත් විතරයි එය පරිවර්තනය කරන්නේ. ඉංග්‍රීසි පොත දොරට වඩිද්දීම ඒ ගැන විචාර පළ වුණා නිව්යෝක් ටයිම්ස් වැනි පුවත්පත් සගරාවල. සොනාලි දැරණියගල ගැන මම අන්තර්ජාලයෙන් දැනගෙන සිටියා. ඇය ගැන කුතුහලයක් මට තිබුණා. නමුත් ඇය මට හමු වෙලා නැහැ. ඇය ලේඛිකාවක් නෙවෙයි. නමුත් තමන්ගේ අධ්‍යාත්මය උඩු යටිකුරු කළ අත්දැකීම ඇය ලීවා. පටාචාරාවක් වගේ මෙවැනි අත් දැකීමක් ලැබීමෙන් පසු ඒ සියල්ල දරාගෙන සොනාලි ජීවත් වන්නේ මට හිතෙන්නේ ආදරයේ සැමරුමක් හැටියටයි. ඇය ධෛර්යවන්තයි. ඒත් පොත පරිවර්තනය කරද්දි මට ඇය මුණගැහෙන්න ඕන වුණේ නෑ, මම ඇගෙන් මොනවා කියලා අහන්නද? ”

“පෙන් සම්මානය දෙනවිටත් එහි කියා හේතුපාඨයේ කියා තිබුණා ස්වයං චරිතාපදානයක් මේ තරම් සංස්ෂිප්තව රසවත්ව ලිවීමට ඇය සතු දක්ෂතාව ගැන.”

“සොනාලි කියන්නේ වරප්‍රසාද ලාභී ඉහළ මධ්‍යම පන්තියේ කෙනකු වුවත් ඇය හැම විටමසමාජවාදී අදහස් දැරූබව අපට පේනවා. ඒ වගේ ම ඇය ජීවිතය වින්ද කෙනෙක්. සාමාන්‍ය ජීවිතයට කැමති වීම ඇය සතු ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.”

මේ පොත පර්වර්තනයේදී ඔබ භාෂා රටාව ආදිය ගැන සැලකිලිමත් වූ බව පේනවා?

“ගාර්ෂියා මාකේෂ් කියනවා අපි මුල් කෘතිය වින්දාම, භාෂා දෙකම හොඳට හසුරවන්න පුළුවන් නම් ඉබේ ප්‍රතිභෘවක්, ඉවක් පහළවෙනවා කියලා. එය හිතලා කරන්න අමාරුයි. හිතට කා වැදුණොත් තමයි ඒ ශෛලිය එන්නෙ. සොනාලි මවක ලෙස භාවමයව දරන උත්තරීතර බව, ‍ස්වභාව වාදියකු ලෙස ජීවිතේ සැබෑ අත්දැකීම් ලැබුවෙකු ලෙස ඇය ලියූ දේ මම සැබැවින්ම වින්දා. මොකද අපේ තාත්තාත් උදේ නැඟිට්ටාම කුරුලු හඬට සවන්දීලා ඒවා අඳුනගන්න හැටි අපට කියා දුන්නා. ඒ නිසා එයට අසාධාරණයක් නොවන ආකාරයට පරිවර්තනය කළා. ඇත්තෙන්ම පරිවර්තනයකදි මුල් ලේඛකයාට ඉඩ දිය යුතුයි.”

ලිවීම ඇයට සහනයක් සංහිඳියාවක් ගෙනාවා. අපේ රටෙත් එවැනි අත්දැකීම් ලද අයගේ මානසික තත්ත්වය යතා තත්වයට පත් කරන්න මෙය හොඳ උපක්‍රමයක් වෙයිද?

සොනාලි සිය දිවි නසාගන්න හැදුවා. නමුත් ඇය දැන් යථා තත්වයට පත් වී සිටිනවා. මෙය ආපදාවකට මුහුණ දෙන කෙනකුට ආදර්ශයක්?

“ජීවිතය තිබෙන්නේ මැරෙන්න නෙවෙයි ජීවත්වෙන්න. අනෙක් අයට ආදරෙන් අවංකව ජීවත්වීම තමයි මම මේ පොතෙන් දකින දර්ශනය. ඇය ඇත්තෙන්ම වීරවරියක්.”

මාලිනි ගෝවින්නගේ එසේ කියද්දී සොනාලි දැරණියගලගේ පොත කියවා ප්‍රතිචාර දැක්වූවන් අතරින් අයෙකු ඇයට කියා තිබූ දෙයක් සටහන් කරන්නට සිතුණි.

“මට ලියූ හුඟ දෙනා අතරින් එක් කෙනකුගේ ලියුමක් මගේ හිකට කා වැදුණා.ඒකේ පුද්ගලයා කියනවා, මම මගේ පුතා දින හතළිහක් බෝවන රෝග ඒකකයේ තියාගෙන ඉද්දි මට කට්ටිය කිවා මම හරි ධෛර්යවන්තයි කියලා. ඒත් ඔබත් සමඟ සසඳද්දී මගේ ශක්තිය කෙතරම් පුංචිද කියලා තේරුණා.”

සොනාලි දැරණියගල, සුනාමිය අපට එක් කළ නූතන පටාචාරාවකි. ඇය ගෙවුණු දස වසර තුළ මහ සයුර පරදා ජීවිතය ජය ගත්තාය. අප එය දන්නේ ඇය එය පොතක සටහන් කළ නිසාවෙනි. තවත් එවන් අත්දැකීම් ලද්දෝ සුනාමිය අපේ ලෝකයට එක්කර ඇත. අදටත් ඔවුන් මහ සයුරට බිය වන්නේ නම් ‘රළ’ ඔවුන්ට සරණක්ම වේවා!

අරුණි මුතුමලී


 silumina

ඔබේ අදහස කියන්න...

SHARE
Previous articleTom & Jerry
Next article“Man In The Mirror”