ඩේවිඩ් ලින්ච් නම් සිනමාකරුවා මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ආගන්තුකයෙකි. තවමත් ජීවත්ව සිටින ඔහු සිය අවසාන වෘතාන්ත චිත්‍රපටය වන ඉන්ලන්ඩ් එම්පයර් නිර්මාණය කරන ලද්දේ 2006 වසෙර්ය. නැතහෙත් මෙයට දස වසරකට පෙරාතුවය. අමෙරිකන් සිනමාකරුවකු වන ඩේවිඩ් ලින්ච්ගේ කිසිදු චිත්‍රපටයක් කිසි කලක මෙරට සිනමාහලක වාණිජ මට්ටමින් හෝ සිනමා උත්සව දැක්මකදී ප්‍රදර්ශනය වූයේ නැත. 90 දශකයේදී සිනමාව පිළිබඳ අලුතින් සිතන්නට පටන් ගත් සිනමා පරම්පරාවට ලින්ච් විශාල ආශ්වාදයක් ගෙන දුන්නේය. එය 2016 වසරේ සිනමා පරම්පරාවටත් ඒ ආකාරයෙන්ම දැනෙනවාදැයි මා දන්නේ නැත. එයට හේතුව පසුගිය දස වසර ඇතුළත බොහෝ හැඟීම් හා ආකල්ප උඩු යටිකුරු වන්නට ප්‍රමාණවත් සමාජ සිද්ධි රාශියකට ලෝකය මුහුණ දුන් බැවිනි. අපි දූපතක වෙසෙන නමුත් ලෝකවාසීන් වන්නෙමු.

ලින්ච් ගැන කියන මෙම ලිපිය ලියන්නට පෙළඹුණේ ඩේවිඩ් ලින්ච්ගේ සිනමාව ගැන යමක් ලියන්නට නොවේ. පසුගිය දවසක මා අත පත් අලුත් ග්‍රන්ථයක් සමඟය. අලුත් යැයි පැවසුවාට ග්‍රන්ථය නිකුත් වී සාර මසකට ආසන්නය. එය නිකුත් වුණේ මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී 69 වසර සපිරුණු පසුගිය ජනවාරි 21 වැනිදාය. කෘතියේ නම ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය යන්නය. ග්‍රන්ථයේ කතුවරයා පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ නම් විය. ඔහු සඳහන් ඇති අන්දමට මෙම ග්‍රන්ථය මහාචාර්ය ටොඩ් මැක්ගේනි විසින් රචනා කරන ලද ඉම්පොසිබල් ඩේවිඩ් ලින්ච් නම් ග්‍රන්ථයේ අනුවර්තනයක් නැතහොත් ඡායානුවාදයකි. පුෂ්පජිත් ලින්ච්ගේ කෘතිය සඳහා ඔහු පොළඹවාලනුයේ ප්‍රවීණ විචාරක හා මතධාරියකු වූ දීප්ති කුමාර ගුණරත්න විසිනි. එදවස දීප්ති විසින් පවත්වන ලද චිත්‍රපට අධ්‍යයන පන්තියේ අභ්‍යාසයක් හැටියටය. ඒ 2008 වසෙර්ය. 2009 වසර වන විට ග්‍රන්ථය ලියා හමාර කළත් එය එළි නොදකිනුයේ පුෂ්පජිත් එයින් තෘප්තිමත් නොවූ බැවිනි.

සාමාන්‍යයෙන් ග්‍රන්ථයක් රචනා කරන ලද පසු කෘතියටත් වඩා ප්‍රචාරය ලබා ගන්නා ලේඛකයන් සිටින රටක පුෂ්පජිත් අරුම පුදුම ජාතියේ බඩුවකි. කිසි කලක නොදුටු ඔහුගේ ඡායාරූපයක් පොත සමඟ පුවත්පතේ පළ කරන්න එවන්න යැයි චිත්‍රපට සංස්ථාව හරහා දන්වා යැවූ විට හැරෙන විද්‍යුත් තැපෑලෙන් ඔහු මට පිළිතුරු එව්වේ පොත ගැන හඳුන්වා දෙන ලෙසය. තම ඡායාරූපයක් පළ කිරීම අනවශ්‍ය බවයි.

සිනමා කෘතියක් නැරැඹීම පැත්තක තබා ඒ ගැන කියැවීම වෙනම කාරණාවකි. ලින්ච්ගේ සිනමාව පිළිබඳ කියැවිම වෙනම අධ්‍යයනයකි. අමෙරිකානු සිනමාවේ බිහි වූ අධි යථාර්ථවාදී සිනමාකරුවකු ලෙස ගැනෙන ඩේවිඩ් ලින්ච් 1946 ජනවාරි 20 වැනිදා උපත ලද්දෙකි. කෙටි හා වෘතාන්ත සිනමාකරුවකු මෙන්ම තිර නාටක රචකයකු, ලේඛකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු, ටෙලිවිෂන් නිර්මාණකරුවකු, නළුවකු ආදී වශයෙන් විවිධ භූමිකාවන්ට පණ පොවන්නෙකි.

ඔහු 1977 සිට 2006 වසර දක්වා කාලය ඇතුළත නිර්මාණය කරන ලද වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව දහයකි. එනම් ඉරේසර් හෙඩ් (1977), දි එලිෆන්ට් මෑන් (1980), ඩියුන් (1984), බ්ලූ වෙල්වට් (1986), වයිල්ඩ් ඇට් හාට් (1992), ට්වින් පීක්ස් : ෆයර් වෝක් විත් මී (1992), ලොස්ට් හයිවේ (1997), ද ස්ට්‍රේට් ස්ටෝරි (1999), මුල්හොලන්ඩ් ඩ්‍රයිව් (2001), ඉන්ලන්ඩ් එම්පයර් (2006) මෙම චිත්‍රපට සංඛ්‍යාවයි. මේ අතරින් අදාල ග්‍රන්ථයට පාදක වනුයේ බ්ලූ වෙල්වට් සිට මුල්හොලන්ඩ් ඩ්‍රයිව් දක්වා නිර්මාණය කරන ලද චිත්‍රපටයන්ය. ට්වින් පීක්ස් ෆයර් වෝක් විත් මී චිත්‍රපටයට පාදක වූ ට්වින් පීක්ස් ටෙලි මාලාව ලින්ච් දායක අධ්‍යක්ෂණය කරන ලද්දකි. එය අතීතයේ මෙරට ටෙලිවිෂන නාළිකාවක විකාශය වූයේය. කෙසේ වෙතත් 90 දශකයේ පිබිදුණු තරුණ සිනමා ප්‍රේක්ෂකයන් අත ලින්ච් වීරයකු වන්නට පටන් ගත්තේ බ්ලූ වෙල්වට් සමඟය. 1990 දී ඔහුගේ වයිල්ඩ් ඇට් හාට් කාන් සිනමා උලෙළේ පැල්මා ඩි’ඔ සම්මානය දිනා ගත්තේය. මුල්හොලන්ඩ් ඩ්‍රයිව් සඳහා ද ඔහු හොඳම අධ්‍යක්ෂණයට හිමි කාන් උළෙලේ පැල්මා ඩි’ඔ සම්මානය දිනා ගත්තේය.

ලින්ච් පිළිබඳ සිංහලෙන් වටහා ගන්නට නම් ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය අනිවාර්යෙන් කියවිය යුතු අතර එමෙන්ම එම චිත්‍රපට සියල්ල නැරැඹිය යුතු වෙයි. නොඑසේ නම් චිත්‍රපට නරඹා ස්වකීය කථනය වෙනස් කරනු වස් ග්‍රන්ථය කිය විය යුතු වෙයි.

මෑත භාගයේ සිනමා කෘති කියැවීම උදෙසා අපූරු ග්‍රන්ථ කිහිපයක්ම එළි දක්වන්ට යෙදිණ. උදිත අලහකෝන්ගේ මායාව විනිවිද ගෝලීය සිනමාව, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ මහා සිනමාව කියැවීම මේ අතින් මගේ මතකයට නැගෙන ග්‍රන්ථ කිහිපයකි. මේ කිසිවකු හෝ පරණ ඉස්කෝලයෙන් සිනමා කියැවීම ඉගෙන ගත්තෝ නෙවෙති. එමෙන්ම ලෝක සිනමාව වඩා ලං වන්නට, ලං වන්නට වඩා පුළුල් සිනමා කතිකාවක් වෙත යොමු වන්නට ඔවුනට හැකියාව ලැබිණ.

ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලද්දේ ජාතික චිත්‍රපට සංස්ථාව මඟිනි. ඒ කතානාද සිනමාවේ 69 සංවත්සරය පමණක් නොව සංස්ථාවේ 44 වන උපන් දිනය නිමිතිකොට ගෙන විය යුතුය. මෙරට චිත්‍රපට සංස්ථාව ආරම්භයේදී එහි එක් නියාමනයක් වූයේ යහපත් සිනමා සංස්කෘතියක් ඇති කිරීමය. චිත්‍රපට සිනමා ශාලාවලට යැවීම හා ආපසු ගෙන්වීම ප්‍රධාන කරුණ ලෙස සැලකුණා විනා සිනමා සංස්කෘතිය උදෙසා සංස්ථාවේ මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් විය නොහැක. එය පිහිට වන්නට පෙර මෙරට චිත්‍රපට සංගම් ව්‍යාපාරය ඉතා දියුණු එකක් විය. බොහෝ විශ්ව විද්‍යාල සහ පාසල් හරහා චිත්‍රපට සංගම් ගොඩ නැඟුණ අතර, සොලොස්මාන සිනමා කුණ්ඩලිය, විචාරක සංගමය වැනි සිනමා සංගම් සිනමා සංස්කෘතියක් ගොඩ නැඟීම උදෙසා වැදගත් මෙහෙයක් ඉටු කළේය. හන්තානේ කතාව, නිම්වළල්ල වැනි චිත්‍රපට නිෂ්පාදනය පසුපස තිබුණේ ද ඉහත කී සිනමා උනන්දුවේ ප්‍රතිඵලයයි. මේ සියල්ල චිත්‍රපට සංස්ථාව පිහිටුවාලීමෙන් පසුව බිඳ වැටුණේ චිත්‍රපට ආනයනය ඇතුව සියළු කාරණා පිළිබඳ ඒකාධිකාරයක් එමඟින් පවරා ගැනිමෙනි. යළි චිත්‍රපට සංගම් හිස ඔසවන්නට පටන් ගත්තේ අසූව දශකයේ මැද භාගයේ පමණය. ඒ චිත්‍රපට සිනමාහල් ඉක්මවා නැරැඹීමේ විකල්ප ක්‍රම එළි දැක්මත් සමඟය.

සර්ජි අයින්ස්ටයින් සිනමා කවය, 88 සිනමා කවය එම යුගයේ බිහි වූ සිනමා සමාජ අතර කැපී පෙනෙයි. විශේෂයෙන් චිත්‍රපට සංස්ථාව ආරම්භ වූ මුල් අවධියේ ලෝකයේ බොහෝ වැදගත් චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාව නොලැබිණ. ඒ වෙනුවට තොග ගණනේ තැනුණු ඕනෑම චිත්‍රපටයක් බලාපිය, නැතිනම් නිකම් ඉඳපිය යන න්‍යායේ ඔවුන් කටයුතු කළහ. එම මතයට බාධක ඇති වූයේ චිත්‍රපට යනු තවදුරටත් ජනතාවගේ එකීය විනෝදාස්වාදය නොවේය යන යුගය ඇරැඹි පසුවය. තවත් දශකයක් ගත වෙද්දී චිත්‍රපට සංස්කෘතිය කොයි හැටි වෙතත් චිත්‍රපට රැක ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක් සොයා යා යුතු යුගයක් එළඹ තිබිණ.

පේ‍්‍රක්ෂකයෝ සිනමා ඒකාධිකාරය බිඳ ලොව ඉහළම චිත්‍රපට නරඹන්නට පටන් ගත්හ. තවදුරටත් ඔවුන් ශාලාවක කොටු කර ගැනීමට නොහැකි විය. ලින්ච්ලා පමණක් නොව කිස්ලොව්ස්කිලා, ටැරන්ටිනෝලා ගැන තරුණ රසිකයනට ඉගැන් වූ කිසිවකු නොවීය. ඔවුන් විසින්ම ලෝක සිනමාවේ අද දවස පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදෙමින් යාවත්කාලීන වූහ. එවන් යුගයක හුදී ජනයා උදෙසා ඩේවිඩ් ලින්ච් වැනි සිනමාකරුවකු පිළිබඳ ග්‍රන්ථයක් එළි දැක්වීමට චිත්‍රපට සංස්ථාව කටයුතු කිරීම ප්‍රශංසා කළ යුතුය. විශේෂයෙන් සිනමා කලාව පිළිබඳ වත්මන් සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාණන්ට ඇති ඇල්ම අගය කළ යුතුය. එය ආඳා යවා තබා වලපත අල්ලන්නා සේ කටයුත්තක් වුවත් අගය කළ යුතුය.

psycho9This is not a sinhala Norman Bates

කෙසේ වෙතත් ලාංකික සිනමාව කල දවස ගෙවන්නේ ෆැන්ටසියක ද නැද්ද යන්න වටහා ගත යුතුය. පසුගිය දවසක ටවර්හෝල් රඟහල් ඉතිහාසය පිළිබඳ රත්නශීලා පෙරේරා විසින් ලියන ලද ටවර්හෝල් සුපිරි තරු නම් ග්‍රන්ථය කියවන්නට ලදිමි. කලක් අතිශය ජනප්‍රිය වූ ටවර්හෝල් නාට්‍ය අභාවයට පත් වූයේ සිනමාව එයට පිවිසීමත් සමගය. මේ පිරිහීම කෙතරම් වී ද යත් ආරම්භයේ දිනපතා අති සාර්ථකව වේදිකා ගත කරන ලද නාට්‍ය අනු ක්‍රමයෙන් මැකී යද්දී නාට්‍යයට ඉතිරි වුණේ සිකුරාදා රාත්‍රියේ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු එක් දර්ශනයක් පැවැත්වීිමටය. වර්තමානයේ ලාංකික සිනමාව අත් පත් කර ගෙන ඇත්තේ ද එම ස්ථානයයි. විදෙස් චිත්‍රපට මැද ලාංකික චිත්‍රපටයකට ද යන්තම් ඉඩ සැලසේ. එහෙත් වෙනස නම් තවත් පුළුල් වෙළෙඳපොලක් ගොඩ නැඟීමය. සිනමාහලකට ගොඩ නොවදින තවත් ලක්ෂ ගණනක් ටෙලිවිෂනය මඟින් වීඩියෝව මඟින් පමණක් නොව ජංගම දුරකතන මඟින් චිත්‍රපට නරඹති. චිත්‍රපට නරඹන ක්‍රමවේදය වෙනස් කරන ප්‍රේක්ෂකයා වෙත යමක් කළ හැකිද? ෆැන්ටසියෙන් මිදී ඇත්තට මුහුණ දෙන්නට තරම් අප එඩිතරද?

ලින්ච් පැත්තක දැමූ කළ විමසිය යුත්තේ එයයි.

Aruna Gunaratne – දීප්තිගේ ගෝලයකු නොවේ.
එ නිසා ඔහු දීප්තිට වඩා කෙනෙක් [More than Deepthi – Not blindfolded by Norman Bates – rural Gaze of sinhala Moral Left  ] නොෙව්.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මේ දීපාල් චන්ද්‍රරත්න දීප්තිගේ පරන ගෝලයෙක් නේද.එතකොට ඔහු දීප්තිට වඩා……..

  2. ස්තූතියි පළ කලාට . මේ චිත්‍රපටි වලින් එකයි බලල තියෙන්නේ. අනිත් ඒවත් බලන්න හිතා ගත්ත.

Comments are closed.