මා කළ දේශපාලනය දෙස නැවත ආපසු හැරී පරීක්ෂා කරන කල්පනාකාරී අරගලකාරයෙකු ඉතාම සාධාරණ ලෙස 180ංක් භ්‍රමණය වූ පහත ආස්ථානයන් ප්‍රශ්න කරනු ඇත.(දේශපාලන අවරසිකයකු මෙම දයලෙක්තික විරුද්ධාභාසයන් වටහා ගනු ඇත්තේ අවස්ථාවාදය, බඩගෝස්තරවාදය හා ප්‍රතිසංස්කරණවාදය ලෙසිනි).

(A) 90 දශකය පුරාම අප පෙනී සිටි ‛සිවිල් සමාජයට’ එරෙහිව ‛මිනිස් සමාජය’ යන තීසිසයේ විරුද්ධ අන්තය කරා ඔබ එළැඹී ඇත්ද?

(B) 90 දශකය පුරා අප පෙනී සිටි ‛ස්ත්‍රී විමුක්තිය’ නම් විරෝධාකල්පික දේශපාලන ස්ථාවරයේ විරුද්ධ පැත්ත වූ ‛වෙළඳපොළකරණය වූ ස්ත්‍රිය’ යන්නට ඔබ එකඟද?

(C)90 දශකය පුරා අප පෙනී සිටි ‛නිදහස් ලිංගිකත්වය’ යන සටන් පාඨය අප මේ දැන් අනුභූතිකව අත් විඳින විවාහය නම් පරමාදර්ශය හරහා විසඳීමට ඔබ එකඟද?

90 දශකය ආරම්භයේ අප විමුක්ති දේශපාලනයට ඇතුළත් වන විට එවකට අපගේ නිර්නාමික දේශපාලන ගුරුවරයා වූ රොහාන් පෙරේරා විසින් කාල් මාක්ස් ලුඩිවික් ෆොයර්බාක්ගේ දර්ශනය අරඹයා ලියන ලද පහත සඳහන් තීසිසය ආරම්භක ලක්ෂයක් කොට ගත්තේය. එය මෙසේය.

“පැරණි භෞතිකවාදයේ දෘෂ්ටිය ‛සිවිල්’ සමාජයයි. නව භෞතිකවාදයේ දෘෂ්ටිය මානුෂික සමාජයයි; එසේ නැතහොත් සමාජීයකරණය වූ මනුෂ්‍යය වර්ගයායි.”

රොහාන් ඉන්පසු උත්සාහ කරන ලද්දේ ඔහුටම ආවේණික ආකාරයකට ‛සිවිල් සමාජය’ යනු කුමක්ද සහ ‛මානුෂික සමාජය’ යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමටය. ඔහුට අනුව සිවිල් සමාජය = බුර්ෂුවා සමාජය = බුද්ධිමතුන්ගේ කව විය. ඔහුට අනුව මානුෂික සමාජය = අපය. මේ ‛අප’ යනු ඔහු සහ අපය. එතැනින් එහාට මේ ගැන සොයා බැලීමට අපට අවස්ථාවක් උදා නොවීය.

මගේ ප්‍රායෝගික දේශපාලන ජීවිතය තුළ දී රොහාන්ගේ ‛සිවිල් සමාජය’ සහ ‛මිනිස් සමාජය’ පිළිබඳ සූත්‍රගත කිරීම සිදුවීම් තුනක් හරහා අභියෝගයට ලක් විය.

(1) අර්නෙස්ටෝ ලැක්ලාව් සහ ෂන්තාල් මුෆ් විසින් විදාරණය කරන ලද සිවිල් සමාජය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහස.

ඔවුන්ට අනුව සෝවියට් දේශය තුළත් නැගෙනහිර යුරෝපය තුළත් ‛සමාජවාදය’ ජයග්‍රහණය කළේය. වෙනත් ආකාරයකට කියන්නේ නම් නිෂ්පාදන බලවේග මෙම රටවල සමාජසන්තක විය. එබැවින් මේ දක්වා ඉතිහාසය නොදැන සිටි එක්තරා ආකෘතියක සමාජ අසාධාරණය (එනම් පන්තිවාදය තුළ සිදුවන අසාධාරණය) විප්ලවය මගින් පෙරළා දැම්මේය. නමුත් ඔක්තෝබර් විප්ලවය අප කලින් නොසිතූ කවුළුවක්ද විවෘත කළේය. එනම් පසමිතුරුභාවයේ රැඩිකල් අර්ථයයි. එමගින් අප වාස්තවිකත්වයේ (වෛෂයික යථාර්ථය) සීමාව පසමිතුරුභාවය බව වටහා ගත්තෙමු. අති සරල ලෙස කියන්නේ නම් විප්ලවයට පසු සමාජයට මුහුණ දීමට සිදු වූයේ කලින් හිතුවාට වඩා රැඩිකල් අවකාශයකටයි. එනම් මනුෂ්‍යත්වයට සාරයක් නැත යන අදහසයි. මේ අදහසට ප්‍රතිවිරුද්ධව පෙනී සිටියේ විප්ලවවාදී රාජ්‍ය යන්ත්‍රයයි. විප්ලවයට පසු සමාජයට ‛රාජ්‍යය’ අවශ්‍යය වූයේ සමාජවාදී නොවන, එනම් ධනවාදී නොවන රාජ්‍යයන්ගෙන් ආරක්ෂා වීමටය. මෙම නව සන්දර්භය හරහා සෝවියට් දේශය තුළ නව ආරක විමතික සිවිල් සමාජයක් බිහි වූ අතර සමාජවාදය ජයග්‍රහණය කිරීම තුළ අහෝසි වී යයි යනුවෙන් අනුමාන කළ රාජ්‍යය අහෝසි වී යාම පසෙකට තල්ලු වී දයලෙක්තිකව එය ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු විය. සමාජවාදය ජයග්‍රහණය කළ විට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යය නොවන්නේ එය ‛පන්ති රහිත සමාජයක්’ යන තීසිසය මනස්ගාතයක් වී සමාජය නිලධාරීන් සහ මහජනයා යනුවෙන් දෙකට කැඩී නව ආරක පසමිතුරුභාවයක් ජනිත කළේය. කලින් බලාපොරොත්තු වූ මිනිස් සමාජය වෙනුවට විප්ලවයට මුණ ගැසුනේ වෙනත් ආකෘතියක බුර්ෂුවා සමාජයක්ය. මේ තතු නිසා සමාජවාදී සමාජයන්හි නව ආරක දයලෙක්තික ගැටුමක් රාජ්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර බිහි විය. එනම් පන්ති විරහිත සමාජයක දී පවා අසාර මනුෂ්‍යත්වයක් බිහි නොවන බව ඉතිහාසය ප්‍රථම වරට බොල්ෂෙවික් විප්ලවය හරහා වටහා ගත්තේය. නිලධාරීන් උසස් මනුෂ්‍යයන් වූ අතර මහජනයා අවරසික පණුවන් විය. පශ්චාත් – මාක්ස්වාදයේ වේදිකා පීඨය වූයේ මෙම ඓතිහාසික අත්දැකීමයි. (එය ධනවාදයේ වර්ධනය තුළ අත්පත් කර ගත් අවබෝධයක් නොවේ).

(2) 2005 ට පසු දේශපාලන බලය ලබා ගත් මහින්ද රාජපක්ෂ විසින් දෙමළ සමාජයට එරෙහිව කරන ලද යුද්ධය නිසා නව මංසන්ධියක් අපට මුණ ගැසිණි. ඊට අනුව බුර්ෂුවා සමාජය = සිංහල සමාජය. මානුෂික සමාජය = දෙමළ සමාජය. ඉහත සූත්‍රය මගින් අදහස් වන්නේ සිවිල් සමාජය යන්න න්‍යායගත කිරීම මාක්ස්වාදයට විකල්පයක් යන්න යෝජනා කිරීම නම් නොවේ. සිවිල් සමාජය න්‍යායගත කිරීම මගින් අප යෝජනා කරන්නේ දැනට තහවුරු වූ න්‍යායික සහ ප්‍රායෝගික අගතියන් සමාවකින් තොරව විවේචනය කිරීමටය. නැතහොත් දැනට පවතින අධිපති දෘෂ්ටිවාදය විවේචනය කිරීම යනු සිවිල් සමාජය න්‍යායගත කිරීමය. (සිංහල සමාජය = සිවිල් සමාජය)

සිවිල් සමාජය පිළිබඳ හේගල්ගේ නිර්වචනය මෙසේය.“යම් දෙන ලද සමාජයක පුද්ගලයන්ගේ පුද්ගලික අභිලාෂයන් අභිබවනය වන්නේ ආත්මාර්ථයෙන් සහ වියුක්තකයන්ගෙන් තොර ‛රාජ්‍යය’ (State) නම් සංස්ථාපිතය තුළය.” හේගල්ට අනුව ‛රාජ්‍යය’ සිවිල් සමාජයට වඩා උසස්ය. නමුත් අන්තෝනියෝ ග්‍රාම්ස්චි විසින් හේගල්ගේ මෙම අදහස උඩුයටිකුරු කරයි. ඔහුට අනුව රාජ්‍යය යනු සිවිල් සමාජයේ සත්‍යය හෝ සංකල්පයයි. එනම් යම් සමාජයක වරප්‍රසාදිත – අධිපති බල කණ්ඩායමක ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගන්නා වැඩබිම රාජ්‍යයයි. ඒ අනුව රාජ්‍යය යනු සිවිල් සමාජයේම දේශපාලන දිගුවකි.නමුත් ලැක්ලාව් සහ මුෆ්ගේ න්‍යායගත කිරීම් වලට අනුව රාජ්‍යය සහ සිවිල් සමාජය යනු දේශපාලනය ආකෘතිගත වීමේ ආකාර දෙකකි. එය ග්‍රාම්ස්චිගේ මතය උඩුයටිකුරු කිරීමකි. ලැක්ලාව් සහ මුෆ්ට අනුව සිවිල් සමාජය සහ රාජ්‍යය අතර ඇති සම්බන්ධය ආකෘතිමය (Formal) එකක්ය. ඊට අනුව සිවිල් සමාජය යනු සමාජයට ස්වයං-සංවිධානය වීමේ විභවතාවයට ඇති විවෘතභාවයයි. එමගින් ප්‍රකාශ වන්නේ ආකෘතික දේශපාලන නිදහස පිළිබඳ ගැටලුවකි. හේගල්ට සහ ග්‍රාම්ස්චිට අනුව රාජ්‍යය සහ සිවිල් සමාජය අතර ප්‍රතිවිරෝධය පරම එකකි. එකක් අනෙක මර්දනය කරයි. හේගල්ට අනුව රාජ්‍යය යනු පුද්ගලවාදය අභිබවනය කිරීමක් යැයි සැලකෙන්නේ මේ නිසාය. නැතහොත් හේගල්ට අනුව රාජ්‍යය යනු පරමාණුකරණය වූ විපරිත මිනිසාගේ අභ්‍යන්තරික නිදහස සාරයක් ලෙස ප්‍රකාශ වීමකි. අනෙක් අතට ග්‍රාම්ස්චිට අනුව සිවිල් සමාජයේ නිදහස යනු සමාජවාදය තුළ සිදු වන රාජ්‍යය වියැකී යාමේ පරිණාමීය කතාවයි. ලැක්ලාව් සහ මුෆ්ට අනුව රාජ්‍යය යනු සිවිල් සමාජයේ පරම අනෙකා නොවේ. එහි ප්‍රතිවිරුද්ධ පැත්තද එසේමය. සිදුවන ක්‍රියාවලිය නම් ප්‍රත්‍යාවේක්ෂණයයි. එනම් එකිනෙක තල දර්පණයක් කොට ගැනීමයි. මෙය ඒ අනුව දේශපාලනය ආකෘතිමය හරඹයක් ලෙසින් වටහා ගැනීමකි. (ලිබරල් දේශපාලනය)

සිවිල් සමාජය තුළ දී තහවුරු වන ආකෘතික දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහතික වන්නේ දේශපාලනික රාජ්‍යයේ ආකෘතික ලක්ෂණවල (අධිකරණය, ඡන්දය, පාර්ලිමේන්තුව, සිවිල් රැස්වීම්) ගතික ස්වභාවය මගින්ය. එනම් නීතියේ ක්ෂේත්‍රය සහ අයිතිවාසිකම්වල වැඩබිම් තුළය. ඒවා සාක්ෂාත් වන්නේ වියුක්ත චින්තනයක් සහිත මිනිසුන් තුළ සහ පුරවැසියා තුළය. ඉන් අදහස් වන්නේ සමානාත්මතාවය සහ විමුක්තිය යන සංකල්පවලට දිව්‍යමය හෝ පරම අර්ථයක් නැති අතර යම් අර්ථයක් ඒවාට පවතී නම් ඒවා පැවතිය හැක්කේ ආකෘතිමය වශයෙන් පමණක් බවය. පාක්‍යසෝති සරවනමුත්තු වැනි සිතන්නන්ගේ අදහස් භ්‍රමණය වන්නේ මේ අඩවියේය.

රාජ්‍යය යන සංස්ථාපිතයේ අපි කලින් නොදත් භ්‍රමණයක් මහින්ද රාජපක්ෂ නිසා ලංකාවේ සිදු විය.එය නම් රාජ්‍යයේ ආකෘතිමය ගුණය (Gap) අහෝසි කරමින් එහි දයලෙක්තික විභවය මතු වීමයි. රාජ්‍යයට ස්වයංව පරිපූර්ණ සාරයක් විය නොහැකිය. එයට හේතුව අප කලින් සාකච්ඡා කළ සිවිල් සමාජය නම් බාධාව නිසාය. නමුත් රාජ්‍යයට මාස්ටර් කෙනෙකු ෆැන්ටසිකරණය කිරීම මගින් ස්වයං බාධාව ජයගෙන සාරයක් විය හැක. රාජ්‍යයේ අඩුව (Lack) පරිසමාප්ත මාස්ටර් කෙනෙකු ෆැන්ටසිකරණය කිරීමෙන් සාක්ෂාත් කර ගත හැක. ඒ අනුව මහින්ද රාජපක්ෂ යනු රාජ්‍යයේ අඩුව මකා එය පරිසමාප්ත කරන සිංහල මාස්ටර්වරයාය. (ලෙනින් යනු රාජ්‍යය තුළ අඩුව දිගටම නඩත්තු කරන විශ්ලේෂකයාය – Analyst). මේ සිංහල මාස්ටර් අපට පවසන්නේ සිංහල රාජ්‍යයේ පරිසමාප්තබවට අභියෝග කරන සතුරෙකු ඇති බවයි. ඒ දෙමළාය. මේ මොහොතට පසු සිවිල් සමාජය සිංහල වන අතර දෙමළ සමාජය මානුෂික සමාජය වෙයි. මෙම ඛණ්ඩනය සිවිල් සමාජය පිළිබඳ අලුත් තත්ත්වයක් ලංකාවේ බිහි කරයි. මෙතෙක් කල් සිවිල් සමාජයේ ප්‍රකාශයන්ව සිටි මිනිසුන් මානුෂික සමාජයට තල්ලු වන්නේ ඔවුන්ව සතුරන් ලෙස අලුත් සිවිල් සමාජය සලකන නිසාය. වාර්ගික බෙදීම නිසා සිවිල් සමාජයද දෙකට බෙදී ඇත. කලින් සිවිල් වූ අය මනුෂ්‍යයන් වන අතර කලින් මනුෂ්‍යයන් වූ අය දැන් සිවිල් වී ඇත. පාක්‍යසෝති සාරයක් නැති මනුෂ්‍යයත්වයක් වෙනුවෙන් පෙනී සිටින විට මනුෂ්‍යයන්ගේ ‛සාරය’ සිංහල බවට ටිල්වින්, විමල්, චම්පික, රතන, මහින්ද, කුමාර් කියයි. අංකයකින් අවධාරණය කළ දෙය මෙතැනම ලියැවී ඇති නිසා අංක 03 මෙලෙස පහත සාරාංශගත කළ හැක.

(3) අනූව දශකයේ ‛මනුෂ්‍යයන්’ ලෙස දේශපාලනය කළ බොහෝ දෙනා දැන් ‛සිවිල් පොරවල්’ වී ඇත. ඔවුන් සරදම් කරන්නේ සමාජීයකරණය වූ මිනිසුන්ටය. අද දවසේ නිදහස් ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ අයයි.

පසු සටහන –

කාල් මාක්ස් විසින් සිවිල් සමාජය යන අදහස දේශපාලන – ආර්ථිකයට තුල්‍ය කරයි. ඔහු ඉන් අදහස් කරන සංකල්පය පහත පරිදි සාරාංශගත කළ හැකිය.

අප ගැඹුරින් ගැඹුරට ඉතිහාසය ආපස්සට කරකවාගෙන ගියහොත් මනුෂ්‍යයා සිය සමස්තයට වඩාත්ම ඓන්ද්‍රීය ලෙස ගැට ගැසී ඇති ලක්ෂ්‍යයක් හමු වෙයි. එනම් මනුෂ්‍යයාගේ උපරිම පරාධීනත්වයයි. එහිදී මිනිසා සමාජය සහ සොබාව සලකන්නේ තමන්ගේම කොටසක් ලෙසය.

විවිධ සමාජ සම්බන්ධතාවල අනේකාකාර රූප තම පුද්ගලික අරමුණු සඳහා වූ මාර්ගයක් ලෙස හෝ අවශ්‍යතාවක් ලෙස ‛පුද්ගලයාට’ අභිමුඛ වන්නේ දහ අට වන ශත වර්ෂයේදී ‛සිවිල් සමාජයේ’ දී පමණකි. එබැවින් මිනිසා හුදු වාර්ගික සත්වයෙක් පමණක් නොව සමාජ මධ්‍යයෙහි දී තමාවම පුද්ගලීකරණය කරගත හැකි සත්වයෙකි. මේ නිසා විප්ලවීය දෘෂ්ටිකෝණයෙන් ගත් විට මනුෂ්‍යයාට භාවිතාවන් දෙකක් ඇත. (විප්ලවීය භාවිතාව මත පදනම්ව)

1. පුද්ගලිකව අරමුණු සඳහා සමාජයීය සාරය ක්‍රියාවේ යෙදවීම. (සිවිල් අපේක්ෂාව)
2. පරාරෝපිත බවින් ගැලවීම සඳහා (සමාජයීයකරණය වූ මිනිසෙකු ලෙස) සමාජයීය සාරය ක්‍රියාවේ යෙදවීම. (මානුෂික අපේක්ෂාව)∎

දීප්ති කුමාර ගුණරත්න

Jul 20th, 2012

ඔබේ අදහස කියන්න...