කොහෙද ඔවුන් ගියේ ? අතීතයේ සිටි හිස්ටෙරිකයන්, මේ විශ්මිත කාන්තාවන්… ඇනා ඕ, ඩෝරා… 

ලැකාන්; 1977, පිටුව 64 

               ඇත්තෙන්ම, මනෝවිශ්ලේෂණය නම් විෂය බිහි කිරීම සඳහා ගර්භාෂය සැපයූ ඒ සියලුම කාන්තාවන් ගැන දැන් සඳහනක් නැත්තේ ඇයි? ෆ්‍රොයිඩ් සහමුලින්ම වෙනස් ආකාරයක මිනිස් සබඳතාවයක් අනාවරණය කරගත්තේ ද ඔවුන් කතා කළ වචන අසා සිටීම තුළිනි. අවසාන විග්‍රහයක දී ඕනෑම ‘නියුරෝසියාවක’ මනෝවිශ්ලේෂණය වන්නේ, හිස්ටීරියාව හරහා නියුරෝසියාව කෘත්‍රීම ලෙස තැනීම සහ එය අවසානය දක්වා විසඳාලීමයි. සම්පූර්ණයෙන්ම රෝගියා සහ විශ්ලේෂකයා අතර නිර්මාණය වූ නියුරෝසියාව (කෘත්‍රීම) ජය ගැනීමට සමත් නම්, ඒ අවස්ථාවේ දී අපට විශ්ලේෂිතයා ප්‍රතිකාර වෙත කැඳවාගෙන එනු ලැබූ මුල් නියුරෝසියාවත් විසඳා ගැනීමට පුළුවනි.

                2021 වර්ෂයේ නත්තල් දවසේ (25) සවස් වරුව මා ගත කළේ, ‘නිලන්ත’ නම් 1993 වර්ෂයේ හමු වූ ශිෂ්‍යයා සමඟ ය. අපගේ සංවාද මාතෘකාව වූයේ, ‘ඔවුන් කොහෙද ගියේ ?’ යන තලය යි. මින් අදහස් වන්නේ, 1993 වර්ෂයේ දී ‘හිරු’ පුවත්පත් කාර්යාලයේ දී හමු වූ මගේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමයි. ‘හිරු’ පත්තරය කියවා රාගම පේරලන්ද ගම ආශ්‍රිතව එවකට සිටි තරුණයන් පිරිසක් මා හමුවන්නට පැමිණි අතර ඔවුන් මගේ ‘ව්‍යුහවාදය’ පිළිබඳ පන්තියේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමයි. 

              එම ශිෂ්‍ය කණ්ඩායමේ න්‍යෂ්ටිය වූයේ, පේරලන්ද පල්ලියේ එවකට පියතුමා වූ ජූඩ්ලාල් ය. ජූඩ්ලාල් තම පල්ලිය අවට පැවති සාම්ප්‍රදායික සමාජ විද්‍යාව වෙනස් කිරීමට අදාළව වැඩ කළ රැඩිකල් පූජකවරයෙකි. ඒ මොහොත වනවිට, 89 අරගලය මහපාරේ මිනී පුළුස්සමින් අවසන් වූ අතර බුද්ධාගමට තිබූ ආගමික බලය විනාශ වූ යුගයකි. UNP ය විසින් වැඩි වන ජනගහණයෙන් කොටසක් ගෝලීයකරණයට මුහු කළ අතර තව කොටසක් පරිභෝජනයට මුහු කරන ලදී. ජූඩ්ලාල් පියතුමා ඇතුළුව පෙරලන්ද පල්ලියේ ශිෂ්‍ය කණ්ඩායම රැඩිකල් ලෙස ප්‍රශ්න කරනු ලැබුවේ, වෙළෙඳපොළ බලවේග සහ බටහිරකරණය මඟින් විනාශ වී යන සාරධර්ම පිළිබඳව ය. ඒ සඳහා, ඔවුන් පිළිතුර ලෙස දුටුවේ අල්පේච්ඡ ජීවිතය යි.

                    මා ඔවුන්ව නියුරෝසිකයන් ලෙස හැඳින්වූයේ, එවකට අවබෝධයක් නැති ප්‍රපංචයක් වූ ‘ආශාව’ සිහි ගැන්වීමට ය. තමා අවට ලෝකය පෙරළී යන දුටු ඔවුහු තම ‘ආශාව’ රැක ගැනීමට කතෝලික ධර්මය තුළින් උත්සාහ කරන ලදී. නියුරෝසිකයා යනු, ආශාව තමන්ගෙන් බාහිර යථාර්ථය තුළ දී ඉෂ්ට නො කරගෙන ඉන් ලබන  ‘අතෘප්තිය’ තම ලිංගික තෘප්තිය බවට පරිවර්තනය කර ගන්නා ය. ඔවුහු පවතින ක්‍රමය පිළිබඳ විචාරකයෝ වූයේ ඒ නිසා ය. මේ අයගෙන් බහුතරය ‘කතෝලික ව්‍යාපාරය’ ආශ්‍රිත ශිෂ්‍යයන් විය. වැඩිදෙනෙක් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන්ය. ඔවුන් එකල කෙතරම් රැඩිකල් වූයේ ද යත්, ඩෙනිම් කලිසම් ඇඳීම පවා ප්‍රතික්ෂේප කරන ලදී. පවතින ක්‍රමයට එරෙහිව වර නැඟිය හැකි දෘෂ්ටිවාදය ලෙස ජූඩ්ලාල් පියතුමා දුටුවේ, අල්පේච්ඡ ජීවිතය සහ ජේසුතුමාගේ දුප්පතුන් පිළිබඳ රැඩිකල් දේශනය යි. ආත්මය තමන්වම සමපේක්ෂණය කරන විට එක් මොහොතක දී, තමන්ව සාරයක් ලෙසින් හමු වෙයි.

                    ඉහත ඓතිහාසික හේතු නිසා ඔවුන් වඩ වඩා තල්ලු වූයේ, අනන්‍යතා දේශපාලනයට සහ විමුක්ති දේවධර්මය දෙසට ය. එවකට ලතින් ඇමරිකාවේ පල්ලියේ පාර්ශවීය මතවාදයක් වූයේ, විමුක්ති දේවධර්මය යි. මෙහි ලාංකේය ප්‍රකාශකයා වූයේ, තිස්ස බාලසූරිය පියතුමා ය. ජූඩ්ලාල් පියතුමාගේ බාහිර අල්පේච්ඡ ජීවිතය සහ විමුක්ති දේවධර්මය නිසා ක්‍රිස්තියානි සභාව සහ ඔහු අතර විරසකයක් බිහි විය. එහි අතුරු ඵලයක් ලෙස, ඔහුව සභාවෙන් ඉවත් කරන ලද අතර ඉන්පසු ජූඩ්ලාල් උතුරේ දෙමළ අරගලයට අනන්‍ය විය. ඔහුගේ ශිෂ්‍ය පිරිස මා විසින් මෙහෙය වූ ව්‍යුහවාදී පන්තියට සහභාගි විය.

            ව්‍යුහවාදයේ මූලික ලක්ෂණයක් වූයේ, ව්‍යුහයෙන් මිනිස් ඒජන්තයා ඉවත් කිරීමයි. මෙතැන දී ව්‍යුහය යනුවෙන් අදහස් කරන ලද්දේ ‘භාෂාව’ නිසා, ඒජන්තයාගෙන් ස්වාධීනව භාෂාව අපව පාලනය කරන අයුරු සහ බාහිර අර්ථ තීරණය වන අයුරු උගන්වන ලදී. ‘මිනිස් ඒජන්තයාගේ’ මූලික කාර්යය දැඩි ලෙස ව්‍යුහවාදයේ දී ප්‍රශ්න කෙරෙන නිසා, ප්‍රායෝගිකව ලෝකය වෙනස් කිරීම කෙතරම් දුෂ්කර කාර්යයක් ද යන්න ඔවුන්ට ඒත්තු ගන්වන ලදී. ව්‍යුහවාදය ඉදිරිපිට දී සම්ප්‍රදායික මාක්ස්වාදය පිළිබඳ ගතානුගතික මත ගැටලුකාරී විය. මින්, ‘චමත්’ නම් එවකට රැවුල දිගට වවා ගත් ශිෂ්‍යයා දැඩි ලෙස අසහනයට පත් විය. ඉන්පසු, ඔහු පන්තියෙන් ද ඉවත් විය.

            95 වර්ෂය පමණ වන විට දී, X කණ්ඩායමේ මෙම කතෝලික ශිෂ්‍ය පරම්පරාව ටිකෙන් ටික ක්ෂය විය. ඒ වෙනුවට, සිංහල-බෞද්ධ ශිෂ්‍ය පරම්පරාවකින් පන්තිය විස්ථාපනය විය. ටික කාලයක් ගත වන විට දී, ඔවුන්ට මා අමතක වූ අතර මට ඔවුන්ව අමතක විය. පසුගිය 25 වනදා, නිලන්ත සමඟ මා පසු විපරම් කරනු ලැබුවේ ‘ඔවුන් කොහෙද ගියේ ?’ යන්න පිළිබඳව ය.

            අපි පළමුවෙන්ම, ඉමෑනුවෙල් කාන්ට් නම් ජර්මන් දාර්ශනිකයා දෙසට හැරෙමු. ඔහුට අනුව, අපගේ ඉන්ද්‍රිය ගෝචර ඥාණය අනාවරණය කරනු ලබන්නේ, බාහිර යථාර්ථයේ ‘පෙනෙන ආකාරයෙන්’ මිස ‘සැබැවින් ම පවත්නා ආකාරයෙන්’ නොවේ. ඉන්ද්‍රිය ගෝචර වන යථාර්ථය තුළ එලෙස ගෝචර නොවන සාරයක් ද ගම්‍ය වෙයි. ඉතාම සරලව කිවහොත්, ඉහත අපගේ කතෝලික ශිෂ්‍ය පරම්පරාව සහ ජූඩ්ලාල් පියතුමා ගැන අප විග්‍රහ කරනු ලැබුවේ, ඉන්ද්‍රිය ගෝචර ඥාණයකින් මිස ඔවුන්ගේ ඇති-සැටි නැතහොත්, සාරයකින් නොවේ.

            95 ට පසු ගත වී ඇති කාලය වසර 25ක් පමණ වෙයි. මේ වසර 25ක පමණ කාලය තුළ ඔවුන්ට මොකද වුණේ? නිලන්තට අනුව, මේ අයගෙන් බහුතරය ඔස්ට්‍රේලියාවට පදිංචිය සඳහා ගිය අතර ජූඩ්ලාල් පියතුමා යුද්ධයෙන් පසු කාලයක දී අයර්ලන්තයට පදිංචියට ගොස් ඇත. සරලව කිවහොත්, ඔවුන්ගේ දේශපාලන විඥාණයේ කණපිට පැත්ත පෙරළී ඇත. ඔවුන් වසර 25 කට පෙර විරුද්ධ වූ දෙයට, වසර 25 කට පසුව එකඟ වී ඇත. නමුත්, ඔවුන්ට හදවතේ තෙරපෙන ප්‍රශ්නයක් ද තවම ඇත.

            අපි දැන්, න්‍යායික වංගගිරියක අතරමං විය යුතු නැත. පසුගිය වසර 25 ක කාලය තුළ දී ඔවුන්ගේ ජීවිතයට සිදු වූ දේවල් වටහා ගැනීමට ගැඹුරු ”අර්ථකතන විද්‍යාවක්”[Hermeneutics-is the theory and methodology of interpretation, especially the interpretation of biblical texts, wisdom literature, and philosophical texts.] ගොඩනැඟිය යුතු ද නැත. ‘කතෝලික ව්‍යාපාරය’ තුළ 90 දශකය මුල දී අපගේ ශිෂ්‍යයන් සහ ජූඩ්ලාල් පියතුමා ගිලී ගිය මායාව කුමක්ද?

        අපි දැන්, ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී සන්නිවේදන බිඳවැටීමක් පිළිබඳ අපූරු  උදාහරණයකට යමු.

          ජාක් ලැකාන් නම් මනෝවිශ්ලේෂකයා තම සම්මන්ත්‍රණයක් පැවතුණ දිනයකට පසුවදා ප්‍රකට අර්ථකතනවේදියෙක් (Hermeneutics) වන ‘පෝල් රිකර්’ දුරකථනයෙන් අමතා මෙලෙස ප්‍රශ්නයක් අසයි. “ඔබ ඊයෙ මගේ දේශනයට සහභාගි වුණා නේද? මොකද ඒ ගැන ඔබ සිතන්නේ?” එවිට, රිකර් විසින් ලැකාන්  බලාපොරොත්තු නොවූ පිළිතුරක් ලබා දෙයි. “ඊයෙ ඔබ දේශනයේ දී කී දේවල් කිසිවක් මට අවබෝධ වූයේ නැහැ”. එවිට, ලැකාන් රිසීවරය තබා (Hang up) සන්නිවේදනය බිඳ දමයි.

            මනෝවිශ්ලේෂණය (සහ අවශ්‍ය නම් මාක්ස්වාදය) අර්ථකතනවේදයක් නොවේ. මිනිස් විඳවීම් වලට හෝ මිනිස් සිදුවීම්වලට ගැඹුරු අර්ථකතනයක් ඇතැයි මනෝවිශ්ලේෂණය සිතන්නේ නැත. කතෝලික ව්‍යාපාරයේ ශිෂ්‍යයන් සහ ජූඩ්ලාල් පියතුමා තම තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවා ක්‍රිස්තියානි ආගම සහ ජේසුස් වහන්සේ ගැන අපට උගන්වන පාඩම කුමක්ද?

            ක්‍රිස්තියානි ආගමේ හරයට ‘අර්ථය’ (Meaning) යන අදහස අදාළ නැත. ජීසස්ගේ කුරුසියට ඇණ ගැසීම නම් සිදුවීම හරහා අප උගත යුත්තේ එය යි. ක්‍රිස්තියානිය හෝ කුමන හෝ ආගමක් විවිධ අර්ථකතනයන්ට භාජනය වීම සම්බන්ධ වන්නේ, නූතන ලෝකයේ විද්‍යාත්මක දියුණුවට හෝ ආර්ථික ප්‍රගතියට හෝ මිස ආගමට නොවේ. ‘ආගම’ අර්ථයේ අත්දැකීමකට ඌණනය කිරීම මඟින් අපි මිථ්‍යාදෘෂ්ටිකයන් වීමට වැඩි දෙයක් සිදු නොවේ.

            ආගම සහ මනුෂ්‍ය ජීවිතය යම් ”අර්ථයකට” ඌණනය කිරීම සමකාලීන පශ්චාත්-නූතන ධනවාදය තුළ ප්‍රකට විලාසිතාවකි. උදාහරණයක් ලෙස, 90 දශකය මුල දී මා විසින් ලංකාවට ධනවාදයේ අලුත් අවධියක් පැමිණ ඇතැයි පැවසුවෙමි. මට එය අර්ථකතනය කිරීමට අවශ්‍ය නොවීය; අර්ථයේ මානයට එම තත්වය ඌනනය කිරීමට අවශ්‍ය නොවීය. නමුත්, අර්ජුන පරාක්‍රම, කුමුදු කුසුම් කුමාර, නලින් සුවාරිස් වැනි බුද්ධිමතුන් දැවැන්ත පරිමාණයෙන් උත්සාහ කරනු ලැබුවේ පශ්චාත්-නූතනවාදය සඳහා නිශ්චිත අර්ථකතනවේදයක් ගොඩනැගීමට ය. නලින් සුවාරිස් ඒ සඳහා බුදු දහම ඇසුරු කොටගත් පාරභෞතිකවේදයක් පවා ගොඩනඟන ලදී. අද, ඒ සියල්ල වැල්ලේ තැනූ මාළිගා වී ඇත.

            අප නැවතත් 90 දශකයේ මුල, අපගේ ශිෂ්‍ය පිරිස වෙතට යොමු වන්නේ නම්, ඔවුන් ගැන අර්ථකතනයක් දීමෙන් අපට ඵලක් නැත. ඔවුන් පසුගිය දශක දෙකකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාව සහ වෙනත් රටවල පදිංචි වී ජීවිතය ආර්ථික අතින් සාර්ථක කරගෙන ඇත. තමන්ගේ ජීවිතවලට පිට තැනක සිදුවන විප්ලවයක් සඳහා ආධාර කිරීමට ද ඔවුන් කැමතිය. නමුත්, ඔවුන් බටහිර රටවල ජීවත් වී ඇත්තේ ලාංකිකයන් සමඟම නිසා ඔවුන් ආත්මීයව වෙනස් වී නැත. උපන්දිනය දා ඔවුන් ද සිංහල කිරිබත් කා ප්‍රීතිවන මිනිසුන්ය. එම නිසා, වයස 60 ට පසු බටහිර දී වැඩ කළ නො හැකි නිසා විශ්‍රාම කාලය ගත කිරීමට ලංකාවට යළි ඒමට සිදු වී ඇත. වෘත්තයක ගමන් කරන බව ඔවුන්ට හැඟෙන්නේ එවිට ය. යළිත් එකම දේ යළි යළිත් දෘශ්‍යමාන වෙයි. තමා අසාර ලෙස බැහැර කළ මඩ ගොඩට යළි බැසීමට සිදු වී ඇත. ගැටලුව වන්නේ, මඩ ගොඩ වෙනස් කිරීමයි.

            ‘ශාන්ත පෝල්'[St. Paul ] විසින් ක්‍රිස්තියානියේ හරය දැන ගැනීමට ජේසුස් වහන්සේට ඇමතුමක් දුනහොත් නිසැකව උන් වහන්සේ දුරකථනය තබනු ඇත. නැතහොත්, ආනන්ද හාමුදුරුවන් විසින් බුදුන් වහන්සේට දහමේ ගැඹුරු අර්ථය දැන ගැනීමට ඇමතුමක් දුනහොත් උන් වහන්සේ ද දුරකථනය තබනු ඇත. නමුත්, සමකාලීන YouTube භික්ෂූන් සහ ආගමික අර්ථකතනවේදීන් මෙම රැඩිකල් අදහස වටහාගෙන නැත. ආගමට අපේ මේ ලෞකික ජීවිතය තුළ අර්ථයක් නැත. රැඩිකල් විමුක්තිය පිළිබඳ අදහස එය යි. නමුත්, අපගේ සුපිරි අහම (Super ego) ආගමේ අර්ථය පසුපස පන්නන්න යැයි අපට අණ කරයි. මෙය, විකට ජවනිකාවකි.

                නැවත, අපගේ 90 දශකයේ මුල ව්‍යුහවාදී කතෝලික ශිෂ්‍යයන් වෙතට ප්‍රවේශ වන්නේ නම්, 90 මුල දී අසාරත්වයක් ලෙස දුටු ‘ධනවාදය’ පසුගිය වසර 25 තුළ දී සාරයක් ලෙස ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඇත. 90 මුල දී වටහාගත නොහැකිව පැවති ‘තම ආත්මය’ (ව්‍යුහය තුළ නොමැති) වසර 25 කට පසුව අනන්‍යතාවයකින් තොරව ධනාත්මකව පසුආවර්තනයක් ලෙසින් ඔවුන්ටම සම්මුඛ වී ඇත. දැන්, දරුමල්ලන් ද ලොකු වී පවුල අතහැර යාමට කාලය පැමිණ ඇත. දෙවියන්ගේ මිය යාම මඟින් මූර්තිමත් වන නූතන ලිංගිකත්වය සහ ස්ත්‍රියට දේවත්වයක් ආරෝපණය කරගත් යුගය ද සමාජ ජාලා නිසා වියැකෙමින් යයි. තමන්ගේ කුටුම්භයේ ආර්ථිකය මෙහෙය වූ බිරිඳ ද තමන් මෙන් මහලු වියට ගමන් කරමින් සිටියි. ව්‍යුහවාදය තුළ Subject නම් අදහසින් ද, මනෝවිශ්ලේෂණය තුළ ‘නියුරෝසිකයා’ ලෙසින් ද හමු වූ අනෙකා යළිත් වසර 25 කට පසුව ප්‍රාදුර්භූත වී ඇත්තේ, ත්‍රාසජනක ආකාරයකට ය. ඒ තමන්ට තමන්ම හමු වීමයි.

            X ව්‍යාපාරයේ කුන්ෆු පැන්ඩා වූ ‘අරුණ මාස්ටර්’ (ව්‍යුහවාදය චිනයේ ගුප්ත ශාස්ත්‍ර මගින් ප්‍රති-ආධ්‍යාත්මිකකරණය කළ මිනිසා) X දේශපාලන අර්ථකතනවේදයකට ඌනනය කරන අතරතුර අකාලයේ මිය ගියේ ය. මනුෂ්‍ය ජීවිතය දෘෂ්‍යමානය සහ සාරය ලෙස වෙන් කිරීම බියකරු ය. එමගින්, අද්භූත මිනිසුන් උත්පාද වෙයි.

            90 දශකය ආරම්භයේ අපගේ පන්තිවලට සහභාගි වූ ජූඩ්ලාල් පියතුමාගේ ශිෂ්‍ය පරම්පරාව ගැන අද අපට කිව හැක්කේ කුමක්ද? ඔවුහු අරගලය සහ න්‍යාය (ව්‍යුහවාදය) සමඟ පවත්වාගෙන ගිය ‘නරුමවාදී පරතරය’ සහ ඔවුන් විරුද්ධ යැයි සම්මත කළ දෙයට ඔවුන් තුළම අවිඥාණකව පැවති ස්වාමීත්වයට පින්සිදු වන්නට ඔවුහු හොඳම ධනපති දෘෂ්ටිවාදීන් විය. එයින්, ඔවුන්ට ලැබුණ ප්‍රතිලාභය කුමක්ද? ස්වයං උල්ලංඝණය යි.[selftransgression ] ඔවුන් ව්‍යුහවාදය සමඟ යම් පරතරයක් තබාගෙන උගත් පරිදිම ඔවුන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ ද පවත්වාගෙන ගියේ, පරතරයකි. එය, ඔවුන්ගේ දරුවන්ට ද අදාළ ය. ගැටලුව වන්නේ, දරුවන් ද පරතරයක් සහිතව තම දෙමාපියන්ට සලකන විට එන හුදෙකලාවයි. අද මේ අය භීතියට පත්වී ඇත්තේ, ආසාත්මික ආත්මරාගයේ අනෙක් පැත්ත වන හුදෙකලාව තමන් වට කර ගැනීම හරහා ය. අව්‍යාජ වන්නේ, මෙම හුදෙකලාවයි.

            ‘ව්‍යුහවාදී පන්තිය’ වැරදියට වටහා ගැනීම හොඳ ය. එම නිසා සිදු වූයේ, මේ කිසිවෙකුගේ ජීවිතයට ගැඹුරක් හිමි නොවීමයි. අර්ථකතනය කරන්නට හරයක් ඔවුන් තුළ නැත. ඔවුහු නියම නරුමයන් විය. සල්ලි කන්දරාවක් සමඟ ඔවුන්ව තුරුල් කර ගැනීමට නියමිතව ඇත්තේ, වංචනික විපරිතයන් සමූහයක් පමණි. එම නිසා, මේ ජීවිත ඛේදනීය නැත. මේ ජීවිත විකටත්වයකි. ඇති තරම් ඔවුන් ගැන හිනා වනවා මිස කඳුළු සලන්නට දෙයක් එහි නොමැත.

අඳුර ඝනකම වෙද්දී, මම නිලන්තගෙන් සමු ගත්තෙමි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

 

ඔබේ අදහස කියන්න...