[dropcap color=”blue”]‛වි[/dropcap]පක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්, සිවිල් සංවිධානවල කාර්යභාරය ඊට වෙනස්. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී ඡන්දයක් තිබ්බට පස්සේ දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලලා ආණ්ඩු මාරු කරනවා. නමුත් අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක නෙවෙයි. 2001 සැප්තැම්බර් 11 වනදා ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු දෙකේ ගුවන් යානා 2ක් හප්පලා ඒවා විනාශ කරලා දැම්මා. එතකොට ඒකට කියනවා ග්‍රවුන්ඩ් සීරෝ (Ground Zero) කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සමතලා වුණා.

අපේ ලංකාවෙත් එවැනි කුළුණු ගණනාවක් තිබ්බා. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරපු ආයතන ගණනාවක් තිබ්බා. අද ඒ ආයතන පද්ධතියට සම්පූර්ණයෙන් ගහලා තියෙනවා. අද ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් තමයි ලංකාවත් තියෙන්නේ. ඒ නිසා අද තත්ත්වය වෙනස්. අද අලුතින් ආණ්ඩුවක් හැදුවත්, ඒ හදන ආණ්ඩුවට වැඩ කරන්න ඉස්සර වගේ ආයතන පද්ධතියක් නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බැහැ. මානව අයිතිවාසිකම් විනාශ වෙලා තියෙනවා. එහෙමනම් ඒ ආයතන අලුතින් හැදීමේ වගකීම පුරවැසියන්ට තියෙනවා. ඒක තවදුරටත් දේශපාලන පක්ෂවලට විතරක් භාර දීලා බලන් ඉන්න බැහැ. ඒ වගේම දේශපාලන පක්ෂ මේක කරලා දෙනකම් සිවිල් සංවිධානවලට නිහඬව බලාගෙන ඉන්නත් බැහැ. සිවිල් සංවිධානවලටත් යම් කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා අද අපි එකතු වෙලා ඉන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙලා තියෙන විනාශය වළක්වලා, එය නැවතත් ගොඩනගලා, රටේ තියෙන වැදගත් ආයතන නැවත පිහිටුවීම සඳහා මේ රටේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ විරෝධය දැක්විය යුතුයි කියන කාරණය සනාථ කරන්නයි.

මේ රටේ හැමදෙනාම කල්පනා කරනවා නම් මේ රට ගමන් කරන්නේ විනාශයට කියලා, එහෙනම් ඒ අයට තීන්දුවක් ගන්න වෙනවා. මේ රටේ මිනිස්සු කල්පනා කරනවා නම් මේ රටේ තියෙන්නේ ආසියාවේ ඓශ්වර්යය නෙවෙයි මේ රට ගමන් කරන්නේ වලපල්ලට කියලා, ඒක තේරුම් ගත්තට පස්සේ පුරවැසියන්ට තීන්දුවක් ගන්න වෙනවා. මොකද්ද තීන්දුව? අපට සිද්ධවෙනවා ඒ තත්ත්වය වෙනස් කරන්න මහජනයා එක්ක වැඩ කරන්න. මහජනයාට මෙම අවබෝධය ලබාදෙන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්ය, විශ්වාසය ඇති කරන්න ඕන. ඒ විශ්වාසය ඇති කරන්න නම් අපට සිද්ධවෙනවා ඒ වැඩපිළිවෙළට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පුළුල්ම සංවිධානයක් වශයෙන් එකතුවෙලා අපේ කාර්යභාරය කරන්න. අපි නිදහසේ වේදිකාව වශයෙන්, සිවිල් සංවිධානවල එකතුවක් වශයෙන් මේ විපක්ෂයේ විරෝධයට එකතු වෙලා ඉන්නේ ඒ පුළුල්ම විරෝධය ගොනු කිරීම සඳහායි. එහෙම එකතු වෙලා මේ වෙනස ඇති කළාට පස්සේ සිවිල් සංවිධාන වශයෙන් අපට තිබෙන කාර්යභාරය ඉටුකරන්න, අපේ වගකීම ඉටුකරන්න අපි නැවත ගමන් කරනවා. රටේ සියලුම ජාතීන්, සියලුම දේශපාලන ධාරාවන් නියෝජනය වන විදියට රැස්වෙලා තියෙන මේ වැඩපිළිවෙළ ඇතුළේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය විසඳන්න, අකුළලා තිබෙන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න අපි එකතු වෙලා බලවේගයක් හදමු. ඒ බලවේගයට අපි සියලු දෙනාම එකට එකතු වෙමු. ඒ බලවේගය ජයගහ්‍රණය කරවමු∎

2013.02.11 වන දින කොළඹ නව නගර ශාලාවේ පැවති ‛විපක්‍ෂයේ විරෝධය’ රැස්වීමේදී සුදර්ශන ගුණවර්ධන කළ දේශනය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අනේ රෙද්ද… ප්‍රජාතන්ත්‍රවාදය…උඹට දැන් ග්‍රවුන්ඩ් සීරෝ නම් රනිල්ට වැඩ කරපන්. මොකක්ද යකෝ ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? පුළුවන් නම් අන්න ඒක පෙන්නලා දීපන් නිකන් ලොරි ටෝක් නොදී…

Comments are closed.