ලැකාන්ගේ ධර්මයට අනුව ස්ත‍්‍රියක් නිර්වචනය කරන්නේ කෙසේද? නිසැක වශයෙන්ම එය ජීව විද්‍යාවට අදාළ නැත. අනෙක් අතට එය කතිකාමය නිෂ්පාදනයක් ද නොවේ. මෙම දෙවන හේතුව නිසා මව හෝ මව වැනි භූමිකාවක් සංකේත ලෝකය තුළ නඩත්තු කරන කෙනකු ස්ත‍්‍රියක් නොවේ. ලැකානියානු අර්ථයෙන් ස්ත‍්‍රියක් වනවා යනු සාරාත්මක නිරූපණයක් නොවේ. ලැකාන්ට අනුව ස්ත‍්‍රියක් වීම තුළ ඇත්තේ කතිකාවෙන් පිටතට විසරණය වන ශේෂයක නිරූපණයකි. මේ නිසා ලැකාන් ස්ත‍්‍රියක් ලෙසින් හඳුන්වන්නේ හිස් හැඟවුම්කාරකයකි. රැඩිකල් ආකාරයට ප‍්‍රකාශ කරන්නේ නම් ස්ත‍්‍රියක් යනු පුරුෂයා නින්දාවට පත් කරන්නියකි. ඇය පිරිමියාගේ අභ්‍යන්තරික ආත්මීය ප‍්‍රතිවිරෝධ ඔහුට බාහිරින් සංකේතීය ලෝකය තුළ සංගත කරයි.

මධ්‍යම – පන්තියේ සාමාජිකාවට හැර ඉතිරි සමාජ පන්තිවල ගැහැනුන්ට ලැකානියානු අර්ථයෙන් ස්ත‍්‍රියක් වීමට නොහැකිය. මෙම න්‍යායගත කිරීමට අදාළ වූ ජාතික රාජ්‍යය වූ ප‍්‍රංශය තුළ විප්ලවයක් සිදු විය. එනිසා මෙම අදහස ප‍්‍රංශ විප්ලවය මඟින් ප‍්‍රකාශ විය. ඉහළ සහ පහළ සමාජ ස්තරවලට අයත් ගැහැනුන්ට ස්ත‍්‍රීන් වීමට හැකියාවක් නොමැත්තේ ඒ ස්තරවල දී මිනිස් සබඳතා ක්ෂේත‍්‍රය තුළ අධ්‍යාත්මය වෙනුවට ද්‍රව්‍යය අධිනිශ්චය වන නිසාය. අමතක නොකළ යුත්තේ ඉහත සියල්ල සත්‍ය මානයක් වන්නේ ස්ත‍්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයකි යන ප‍්‍රබන්ධය පිළිගන්නා තෙක් පමණි.

 

විමුක්තියේ මානයෙන් ගත් කල ස්ත‍්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයක් යන්න ප‍්‍රතිස්තී‍්‍රවාදීය. ස්ත‍්‍රීන්ගෙන් අතිබහුතරයක් මෙම සිද්ධාන්තය තවමත් යථාර්ථය තුළ තහවුරු කරනමුත් ලැකාන් තමන්ගේ අවසන් ඉගැන්වීම් හරහා මෙම සිද්ධාන්තය පුනරීක්ෂණය කරන ලදී. රෝග ලක්ෂණයක් යනු යම් අර්ථකථනයක් අනාගතයෙන් බලාපොරොත්තු වන ප‍්‍රහේලිකාවකි. ප‍්‍රහේලිකාවේ අර්ථයෙන් ගත්විට  ඕනෑම පුරුෂයකු ගුහාවෙන් (දේශපාලන ගුල්වලින් පවා) එළියට එන්නේ ස්ත‍්‍රිය නම් වෙස්මුහුණ මාධ්‍ය කොටගෙනය. පුරුෂයා තමන්ගේ සත්‍යය සඟවන්නේ ස්ත‍්‍රියකගේ වෙස්මුහුණ යටය. පුරුෂයා තම ආශාව ආගම හෝ වෙනත් මාධ්‍යයකින් පිරිසිදු කරන විට ස්ති‍්‍රය ඇද වැටෙන්නේ මේ නිසාය. ‘ඇය’ ඔහුගේ පාපය ද්‍රව්‍යාත්මක කරන මාධ්‍යයයි.

253064_402793176441512_450972375_n

ජාක් ඩෙරීඩා නම් ප‍්‍රංශ දාර්ශනිකයා හේගල්ගේ දාර්ශනික පද්ධතිය ස්ත‍්‍රී ගර්භාෂයකට උපමා කරයි. (Gla කෘතිය හදාරන්න) මින් අදහස් කරන්නේ පුරුෂ සංකල්පවල සංගතභාවය ගර්භාෂයේ ඇතුළත ආකෘතියෙන් නිරූපණය වන බවය. සාරාංශගත කර ප‍්‍රකාශ කළහොත් පුරුෂ සංකල්පවල රැුඩිකල් පරාරෝපණය ස්ථානගත වන්නේ ස්ත‍්‍රී ගර්භාෂය නම් ගෘහ නිර්මාණය තුළය. නමුත් ලැකාන්ගේ අධ්‍යයන අපට මඟ පෙන්වන්නේ මෙහි විලෝමයයි. ලැකාන්ට අනුව පුරුෂයා තමාගෙන් පරාරෝපණය වන්නේ ගර්භාෂයෙන් පිටතදීය. ගර්භාෂය තුළ උත්පාද වන පුරුෂ සංකල්ප ඒවාට හිමි පරස්පරය නිසාම විසඳුම ලබා ගන්නේ යථාර්ථය නම් ප‍්‍රබන්ධය මඟින්ය. මෙම ගර්භාෂය සහ ඉන් පිටතට විසරණය වන කළලය (ගර්භාෂය තුළ ඉපදෙන සංකල්ප ඉන් බාහිර වී ෆැන්ටසිය මඟින් සංගත වෙයි) මඟින් සංකල්පයේ ස්වයං – ප‍්‍රතිවිරෝධය විසඳී යයි. ෆැන්ටසියට හත්තක හැඩය ගැට ගැසෙන්නේ මේ නිසාය.

ලැකාන් තම අවසාන න්‍යායගත කිරීම්වල අවධාරණය කරන්නේ තම මුල් ඉගැන්වීම්වල ඇති හරයේ පුරුෂ මූලික ගුණයයි. ස්ත‍්‍රියක් පුරුෂ ආශාවේ රෝග ලක්ෂණය කොට තැකීම පුරුෂ – වාගීශ්වරවාදයකි. පුරුෂ වචනවලින් ස්ත‍්‍රිය උච්චාරණය කිරීම එහි අන්තවාදයයි. ලැකාන් මෙම දිශානතිය 70 දශකය අග වන විට  උඩුයටිකුරු කරයි. ඊට අනුව පුරුෂ වචනයට විස්තර කළ නොහැකි වේදනාවක් ස්ත‍්‍රී පැවැත්ම තුළ ඇත. එය ස්ත‍්‍රී විනෝදය නොහොත් අනේකත්ව විනෝදයකි. (Other Enjoyment – මෙය අනෙකාගේ විනෝදය නොව අනේකත්ව විනෝදයකි) මෙම අනේකත්ව විනෝදය පුරුෂ වාගීශ්වරත්වය ඉක්මවා ගිය ඉන් ශේෂ වන විනෝදයකි. පුරුෂ කතිකාවේ සත්‍යය සඟවන ආකෘතිය ස්ත‍්‍රී වෙස්මුහුණ වන්නේ මේ නිසාය. මෙම හේතුව නිසා ස්ත‍්‍රිය හැමවිටම උච්චාරණය කරන්නේ සත්‍යයයි.

ස්ත‍්‍රියට පුරුෂ අවධානයෙන් ගිලිහී යන කතිකාවක් නැත. කොටින්ම ඇයට කතිකාවක් නැත. සැබෑ ස්ත‍්‍රිය ෆැන්ටසියක් නොවන්නේ මේ නිසාය. ප‍්‍රංශ ස්ත‍්‍රීවාදයේ පාරභෞතික මානය වන්නේ පුරුෂ විඥාන බල රටාවෙන් පිටත පැවැතිය හැකි ස්ත‍්‍රී සාරය සෙවීමයි. මේ ස්ත‍්‍රී සාරයන් ස්ත‍්‍රී ලිවීම් ලෙස වගුගත වෙයි. නමුත් ඒවා යළි යළිත් තහවුරු කරන්නේ ස්ත‍්‍රිය යනු පුරුෂයාගේ පරාර්ථක අර්ථය බවයි. දෘෂ්ටිවාදය පැත්තෙන් ගත් විට ස්ත‍්‍රිය යනු පුරුෂ කතිකාවේ අසමත් තැන දී බිහි වන ආත්මයයි. මන්ද, ඇගේ විනෝද වීම අර්ථකථනයට සහ අර්ථවේදනයට ප‍්‍රතිපක්ෂ නිසාය. පිරිමියකුට රැඩිකල් ලෙස වෙනස්ව ස්ත‍්‍රියක් තම විනෝදය තමන්ගේ සත්තාව (තමන්ගේ සත්‍ය ස්වරූපය) ලෙස ගනියි. පිරිමියා තමන්ගේ සත්‍ය ස්වරූපය ලෙස ගන්නේ පරමාදර්ශය. එනම් වචන ලෝකයයි.

දැනට අප සාකච්ඡා කළ න්‍යායික කරුණු සාරාංශගත කරන්නේ නම් ස්ත‍්‍රිය යනු අවිඥානය පිළිබඳ කතිකාවකි. සරලව කිවහොත් ස්ත‍්‍රිය පුරුෂයාගේ අවිඥානික විශ්වාසයකි. පිරිමි සාරය ඔහුගෙන් පිටතට විසරණය වී ගොස් බාහිර වී යථාර්ථයක් වන්නේ ස්ත‍්‍රී ශරීරය හරහාය. මේ හේතුව නිසා ස්ත‍්‍රිය සෑම විටම භූමිකා රඟ දක්වයි. ‘ස්ත‍්‍රිය’ පුරුෂයාට අභිමුඛ වන්නේ ඔහු සිතන තැන දී නොව ක‍්‍රියාකාරී වන තැනේ දී ය. ස්ත‍්‍රිය යනු පුරුෂයාගේ දෙවියාය යන ලැකානියානු අදහස මල්වර වන්නේ මෙම ක‍්‍රියාකාරී තැන නිසාය.

 

පුරුෂ ඥානය තුළ ස්ත‍්‍රියට ඉඩක් නැත්තේ ස්ත‍්‍රිය යනු ඥානය අසමත් වන මොහොතේ උත්පාද වන නිසාය. ‘ඇය’ පිළිබඳ අධ්‍යයනයකට යෑමට අපට සද්භවවේදයක් (Ontology) අවශ්‍යය. සද්භවවාදී (අපගේ ජීවිතයේ සත්‍ය මානය ක‍්‍රමවත්ව හදාරන අධ්‍යයන ක්ෂේත‍්‍රය) යනු අපගේ දැනුමෙන් සහ අත්දැකීම් ක්ෂේත‍්‍රයෙන් ඉවතට යන ආත්මීය සාරයයි. මෙම ක්ෂේත‍්‍රය සාමාන්‍යයෙන් ට්‍රොට්ස්කිවාදීන් සලකන්නේ මාක්ස්වාදය ෙහෙඩගර්වාදයෙන් ගුප්ත කිරීමක් ලෙසය. ඔවුන්ට අනුව එය පාරභෞතික ක්ෂේත‍්‍රයකි. නමුත් යථාර්ථය වාස්තවික (හරය) පමණක් නොව ආත්මයක් (ස්ති‍්‍රය) ලෙස ද හැදෑරිය යුතුය යන හේගලියානු පාඩම මෙතැන දී වැදගත්ය.

  scarlet-rhett

‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ සමස්තය කොටස් දෙකකින් සමන්විතය. එනම් එය කතා දෙකකින් සමන්විතය. ආරම්භක කතාවට අනුව කුමාරි සහ ඇගේ සැමියා අතර ආතතිගත සම්බන්ධය අපට ගම්‍ය කරවයි. සැමියාව ලෝක බැංකු සේවකයෙක් කිරීම මඟින් ඔහු ප‍්‍රාග්ධනයේ රූපකයක් වෙයි. සැමියා – බිරිඳ අතර ආතතිගත සම්බන්ධය විසඳන චූල ආඛ්‍යානයක් ලෙස පන්සල සහ භික්ෂුව අපට හමු වෙයි. නමුත් කුමාරිගේ පැත්තෙන් ගත් කල ඇගේ විනෝදය ආගමට වැටලිය නොහැකිය.

දෙවන කතාව පළමු කතාවට විසඳුමක් ලෙස එයි. ඊට අනුව බිරිඳ ඒකාකාරී විවාහයේ අසහනය බිඳලන්නට විකල්ප පෙම්වතකු ගවේෂණය කරයි. ඇගේ අභ්‍යන්තරික ආතතියට විසඳුමක් සමාජ යථාර්ථයෙන් ඇයට සම්මුඛ වෙයි. ‘දුහුළු මලක්’ චිත‍්‍රපටයේ කතා නායිකාවට තමන් ගන්නා අභ්‍යන්තර තීරණයට තුල්‍ය වන බාහිර සමාජ යථාර්ථයක් හමු නොවෙයි. එනිසා චිත‍්‍රපටය එතැනින් අවසන් වෙයි. එයට දෙවැනි කතාවක් නැත. කෙනකුගේ අභ්‍යන්තරික ආත්මීය තීරණය සහ එය සමාජ යථාර්ථය තුළ තහවුරු වීම අතර ඇත්තේ පෑස්සිය නොහැකි පරතරයකි. ෆැන්ටසියට ඇති භක්තිය දෙවන කතාවේ උවමනාව මඟින් නිරූපණය වෙයි. ‘සිනහව අතරින්’ චිත‍්‍රපටය තුළ ඇති අන්තර්ගතය එනම් විවාහක ස්ත‍්‍රියකගේ අසහනය මඟින් කතාව අවසන් නොවේ. සරලව කිවහොත් ආඛ්‍යානයට එතැනින් අවසානය හිමි නොවේ. ඊළඟ අදියර වන්නේ ජෝඩුවක් නිෂ්පාදනය කිරීමයි. අපි යථාර්ථයට ඇතුල් වන්නේ ඉන් පසුවය. කුමාරි සැබෑ ලෝකයෙන් ඉවත් වී ෆැන්ටසිකරණය (ආත්මීයකරණය) කරන්නේ දෙවන කතාවේදීය. පළමු කතාවේ අපරිපූර්ණත්වය යනු ඇගේ විනෝදයට ඉඩක් නොමැති වීමයි. දෙවන කතාවේ පරිපූර්ණත්වය යනු ඇගේ විනෝදය ප‍්‍රකාශ වීමයි. ඇයව සදාචාරය විනිශ්චයකට ලක් වන්නේ දෙවන කතාවේය.

කුමාරිගේ දෙවන කතා ලෝකයේ තර්කයට අනුව ඇගේ විකල්ප පෙම්වතා වන විමල් යනු ප‍්‍රබන්ධයකි. ඔහුට සම්, මස්, ඇට, ලේ, නහර නැත. විමල් කුමාරිගේ ෆැන්ටසියක් පමණි. ඔහුට ඇත්තේ ඇගේ ෆැන්ටාස්මැතික රාමුවට අනුව රඟපෑම පමණි. සිනමාව අපව අගතියට (ගැඹුරින් අපව විපරිත කරවන්නේ) රැගෙන යන්නේ මෙම ෆැන්ටසි මානය හරහාය. දැන් ගැටලූව වන්නේ විමල් යනු කුමාරිගේ දෛවය තීන්දු කරන්නා වීමයි. ඔහේ ගලා බසින හිස් විවාහ ජීවිතයක අන්තර්ගතයට හදිසියේම විමල් නම් ආකෘතියක් හමු වූ විට සිදු වන්නේ කුමක්ද? ඔහු ඇගේ සදාචාර විනිශ්චයකරුවා වන්නේ කෙසේද?

 

දෙවන කතාවේ අන්තර්ගතය තුළ කුමාරිත් පේ‍්‍රක්ෂක අපත් පසුධනවාදී ද්‍රව්‍යමය අශ්ලීල ලෝකය තුළ ප‍්‍රීති වෙයි. නමුත් හදිසි, අනපේක්ෂිත සිදුවීමක් නිසා විමල් දෙවන කතාවෙන් අතුරුදන් වෙයි. කුමාරිගේ ජීවිතයට සතුට රැගෙන ආ එම මනස්කාන්ත පෙම්වතා හදිසියේ වියැකී යන්නේ මන්ද? වාස්තවිකත්වය අපට මේ සඳහා උත්තරයක් ලබා දෙනවාද? ඇගේ හිස්ටෙරික චර්යාව හේතුවක් ලෙස ඉදිරිපත් කළ හැකිය. නමුත් අපි වෙනත් මාවතක් තෝරා ගමු.

සමාජ සම්මතයට අනුව කුමාරි පතිනියක් නොවී අගතිගාමී (Perverse) වෙයි. අප කරන වැරදි අපට වාස්තවික ලෝකය තුළ අකා මකා දැමිය හැකි වුවත් එය ආත්මීය ලෝකය තුළ කළ නොහැක. මාක්ස්වාදය ආරම්භ වූයේ ජර්මානු විඥානවාදය විචාරය කරගෙනය. විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධයකට කුමාරි ගමන් කිරීම නිසා ඇය තුළ අහේතුකව හට ගන්නා වැරැදිකාර හැඟීම (Guilty) බාහිර වාස්තවිකත්වය විචාරයක් ලෙස ගන්නේ නම් පුද්ගලයා විපර්යාස වන දේශපාලනය ගැන අලූත් හැඟීමක් අපට ජනනය කළ හැක. පුද්ගලයා වෙනස් වන්නේ සදාචාරයට ප‍්‍රතික‍්‍රියා කිරීමෙනි.

americanpsycho

කුමාරිගේ ආත්මීය ප‍්‍රශ්නයට විසඳුමක් භික්ෂුවගෙන් (සංකේත පියා) ලැබෙන්නේ නැත. මින් අදහස් වන්නේ අන්තර් පුද්ගල සබඳතා විශ්වය කඩා වැටී ඇති බවයි. මීට විකල්පය වන්නේ කුමක්ද? චිත‍්‍රපටය අපට යෝජනා කරන විකල්ප පාරවල් දෙකක් ඇත.

(1) විවාහයෙන් පිටත විනෝදය කරා නිමක් නැතිව ගමන් කළ හැක

(2) මේ විනෝදය අර්ථකථනය කරන ක‍්‍රෑර අනුභූති උත්තර කෙනකු (දෙවියකු) නිර්මාණය කර ගැනීම.

එය දැක්ම මඟින් සූත‍්‍රගත වෙයි. ඉතා සරලව මෙය මෙසේ පැහැදිලි කළ හැක. කුමාරි පාපයක් කරයි. එය ඇය කරනු ලැබුවේ පුද්ගලයන් අතර ආත්මීය සබඳතා කඩා වැටීම නිසාය. නමුත් ඇගේ පාපය දන්නේ ඇය පමණි. මෙම පාපකාරී කි‍්‍රයාව නිසා ඇය වේදනාවක් ලබයි.

තර්ක ඥානයේ ඉදිරිපස දොරටුවෙන් අපට දෙවියෙක් පලවා හැරිය හැකිය. එවිට දෙවියන් අප තුළට එන්නේ පස්සා දොරෙනි. විද්‍යාව හෝ භෞතිකවාදය මඟින් දෙවියන් පලවා හැරිය හැකිය. නමුත් දෙවියන් අවිඥානික තලයේ දී විනාශ කළ නොහැකිය. මෙහි න්‍යායික අදහස වන්නේ දෙවියන් යනු තර්කයේම ඵලයක් බවය. වරක් අපගේ පක්ෂයේ සැදැහැවත් පාක්ෂිකයකු මගෙන් මෙසේ විචාළේය. ”අපි ඔබව දැක්කා කැලණිය පන්සල් භූමියේ දී” ඔහු නොදැන සිටියේ මම ඔහුගේ අර්ථයෙන් භෞතිකවාදියෙක් නොවන බවත්, මම අදේවවාදියෙක් පමණක් බවත්ය. මා තුළ කැලණියට යාම ‘වැරැදිකාර දෘෂ්ටියක්’ ජනිත කළාද යන්න දැනගැනීම ඔහුගේ අභිලාෂයයි. නියම භෞතිකවාදියෙක් භක්තිවන්තයකු මිස විද්‍යාවේ, එනම් නූතන මිථ්‍යාදෘෂ්ටියේ ගොදුරක් නොවේ. මගේ ප‍්‍රශ්න විචාරකයා අවිඥානික තලයේ මාක්ස්ව දෙවියන් ලෙස විශ්වාස කිරීම මිථ්‍යා දෘෂ්ටියක් බව පෙන්වීමට මෙතැන ඉඩක් නැත. ඔහු මාක්ස්වාදය සදාචාරකරණය කරන ජවිපෙවාදයේ සිරකරුවෙකි.

කුමාරිගේ ප‍්‍රශ්නයට අදාළව ගත් විට ඇගේ ආත්මමූලික ලෝකය තුළ ඇගේ පාපයට දඬුවම් දීමට වෙනත් කෙනකු නැත. ආත්මමූලික හිරවීම්වලින් එළියට යාමට අපට තුන්වන පාර්ශ්වයක් අවශ්‍යය. ඇගේ ක‍්‍රියාව පාපතර යැයි ප‍්‍රකාශ කරන්නකු අප ඇය තුළින් දකියි. ඒ අපගේ සුපිරි අහමයි (Superego). සුපිරි අහම යනු අපගේ ආත්මීය ක‍්‍රියාවන් දෙස නරඹන අපගේ මනස තුළම ජීවත් වන පරපෝෂිත විමර්ශකයෙකි. මේ පරපෝෂිත අනෙකාට අවශ්‍යයි, සංකේත නීතිය බිඳ අප කරන ක‍්‍රියාවලින් අප ලබන විනෝදයට දඬුවම් කරන්න. මේ දඬුවම අප කරා ප‍්‍රවිශ්ට වන්නේ අපගේ පාක්ෂිකයා වැනි සුපිරි – අහමේ ඒජන්තයන් හරහාය. ඔවුන් අසන්නේ මෙවැනි ප‍්‍රශ්නයක්ය. ”ඔබ කාටත් හොරෙන් විනෝද වූවාට අපි ඔබව දැක්කා. ඔන්න මම ඔබේ රහස මහ අනෙකාට (මාක්ස්ට) කියන්න යන්නෙ. ඔබේ සංකේතීය අනන්‍යතාව ඉන් පසු කුඩු සංසාර වෙයි. මං කියන දේ කරල පාපයෙන් ගැලවෙන්න!”

 

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. හොඳ ලිපියක් සහෝදරයා. අපිත් අදේවවාදියෝ තමයි. භෞතිකවාදය අවශ්‍ය කරන්නේ ලෝකය තේරුම් ගැනීමට කියලයි මම නම් හිතන්නේ.

Comments are closed.